“ආරාමදාස” කතාවට අවකාශීය පසුබිම වන්නේ පොළොන්නරු රාජධානි සමයේ ඉදි කළ තිවංක පිළිම ගෙය ආශ්‍රිත නටබුන් සහිත ප්‍රදේශය යි. කාලය වශයෙන් ගත් විට කතාව ආරම්භ වන්නේ එක්දහස් නවසිය පණස් ගණන්වල ය. එම බිමේ බැල්පාටිය සමඟ පුරාවිද්‍යා කැණීම් කටයුතුවල නිරත ව සිටින රන්හාමිගේ පුතණුවන් වූ හේමරත්න කතාවෙහි කේන්ද්‍රීය චරිතය වන්නේ ය. ඒ හැරුණු කොට කතාව තේමාත්මක වශයෙන් භ්‍රමණය වන්නේ හේමරත්නගේ ලොකු මාමා වන සමසමාජ පක්ෂ ක්‍රියාධරයකු වන සුවාරිස් අක්ෂය කොට ගෙන ය. මේ කතාව ආරම්භ වන සමයේ දී හේමරත්න පාසල් වියේ පසු වන කොලුවෙකි. බැල්පාටියේ අයගෙන් ඔහු නඟන ප්‍රශ්න අනුව අපට අඩු වශයෙන් ඔහුගේ වයස අවුරුදු දහය ඉක්මවා ඇතැයි සිතන්නට සාධක තිබේ.

ප්‍රචලිත විරෝධාකල්පයකට නැවුම් ප්‍රවේශයක්?

අතීත භෞතික සංස්කෘතිය නිර්මාණය කිරීමෙහි ලා එක් එක් රජවරුන් කළ මෙහෙය හුවා දැක්වීම පාලක සංස්ථාපිතයේ ඉතිහාසඥයන්ගේ කාර්යයක් විය. පැරණි වංශ කථා මෙයට දෙස් දෙයි. නූතනත්වයේ දී මේ නිල ඉතිහාසය දැඩි ලෙස ප්‍රශ්න කෙරුණේ මේ ඉදිකිරීම්වල සැබවින් ම ශ්‍රමය වැගිරූ පොදු පීඩිත ජනයාගේ කාර්යභාරය නොතකා හැරීම පෙන්වා දෙමිනි. “ආරාමදාස” කෘතියේ දී කතුවරයාගේ දෘෂ්ටි කෝණය යොමු වන්නේ ද මෙම ප්‍රචලිත විරෝධාකල්පය වටා ය. එහෙයින් වස්තු විෂය හැටියට ගත් කල්හි එහි එතරම් අපූර්වත්වයක් නැත. එහෙත් “ආරාමදාස” කෘතියේ අපූර්වත්වයක් පවතී. එම අපූර්වත්වය එන්නේ කතුවරයා මේ අදහස චිත්‍රණය කරනු පිණිස වාමන රූප නමැති අගනා රූපකය භාවිත කිරීම තුළ ය. එම රූපකයේ අනර්ඝත්වය පැන නැඟින්නේ බලාත්කාරයෙන්, බාහිරින් පැටවීමක් නො කොට ඔහු පොර බදන වස්තු විෂයට ම අභ්‍යන්තරයෙන් සම්බන්ධිත ව එය ගෙන ඇති බැවිනි. එකල මේ ඉදිකිරීම් කළෝ පිටත බිත්තියෙහි වාමන රූප නෙළා ඇත්තාහ. ඉන් අදහස් කෙරුණේ අනාගතයට මේ ස්ථාන රැකීම මේ වාමනයන්ට භාර වූ බවකි.

මේ වාමන රූප ඒ ගොඩනැඟිලිවල සියලු බර දරා සිටින ලෙසින් නිරූපිත කර ඇත්තේ එහෙයිනි. මේ ඉදිකිරීම් සඳහා දාස භාවයෙන් අනන්ත ශ්‍රමය වැගිරූ මිනිස්සු රජවරුන්ගේ හා භික්ෂූන් වහන්සේලාගේ අණින් මෙලෙස ආරාමදාසයන් බවට පත් ව ඒවා රැකීමෙහි කාර්යයෙහි බන්ධනගත ව වෙසෙති. කතුවර ආරියවංශ අබේසේකර මේ වාමන රූප ආශ්‍රිත පුරාකථාව රජ කාලයෙහි මේ ඉදිකිරීම්වල නිරත ව සිටි කලාකරුවන්ගේ හා දුගී ශ්‍රමිකයන්ගේ ඛේදවාචකයේ යථා තතු එළිමහනට ගැනීමේ අටියෙන් එම රූපවලට පණ දෙති. ඒ අතීතය පිළිබඳ යථාර්ථ ඥානය එළිමහනට ගැනීමේ ආඛ්‍යාන උපක්‍රමයක් ලෙසිනි. එහි කිසිදු ආයාසකර ඉන්ද්‍රජාලයක් නැත. මන්ද, ඔහු මේ රූපකයට පණ දෙන්නේ, නැත් නම් ආකෘතිය ගොඩ නඟන්නේ සිය වස්තු විෂය වඩාත් හොඳින් සහ ගැඹුරින් ගවේෂණය කරනු පිණිස හෙයිනි. මෙහි අගය කළ යුතු නැවුම් ප්‍රවේශයක් ඇත. එහෙත් අවාසනාවකට අබේසේකරයන්ට මේ යතුරෙන් ඒ ප්‍රච්ඡන්න ව පවතින අතීත සමයට පිවිසීමේ රන් දොරටුව හැරගත නොහැකි වී ඇත.

බුද්ධිමය ශ්‍රමයේ මදියාව

කතුවරයා සිය මහඟු පරිකල්පන ශක්තියේ හැකියාවෙන් ඒ හැටි ඵලක් ප්‍රයෝජනයක් නො ගනී. පණ ලබා එළියට බැස හේමරත්න සමඟ සල්ලාපයෙහි යෙදෙන වාමනයෝ දිගින් දිගට ම එක ම දේ පුනරුච්චාරණය කරති. එයින් කියැවෙන්නේ තමන්ට රජ දරුවන් විසින් අණ පනවා බාර දෙන ලද මේ ස්ථාන ආරක්ෂා කිරීමේ කර්තව්‍යයට තමන්ට පිටු පා යා නොහැකි බවත් එහෙයින් තමන් බන්ධනගත ව සිටින දාස භාවයෙන් විමුක්ත වී ගැන්මේ ශක්තියක් ඔවුනට නැති බවත් ය. කතුවරයා පොත පුරා ගෙන එන ඉහත එක ම දෙබස් අඩංගු දර්ශන පාඨකයා අතිශයින් වෙහෙසට පත් කරන අතර කෘතියේ කලාත්මක භාවයට ඉන් බොහෝ සෙයින් හානි පමුණුවා ගනී. එමතු නො ව, මේ ඉදිකිරීම් කර්මාන්තවල යෙදීමේ දී තමන්ගේ නෑසියන්ට සිදු වූ අතෝරයන් කීපයක් සඳහන් කරනු හැර පොළොන්නරු යුගයේ රාජ්‍යත්වයත් වංශාධිපති පෙළැන්තියත් භික්ෂූ ශාසනයත් අතර අන්තර් සම්බන්ධයෙන් යුතු සමාජ ආර්ථික සංස්කෘතික කොන්දේසි කරා කිමිදීමටත් ඉන් ජනිත ව පැවති සමාජ පරස්පර විරෝධයන් එළිමහනට ගැනීමටත් කතුවරයා සිය බුද්ධිමය ශ්‍රමය නො මෙහෙයවයි. මේ හේතුවෙනි ඔහුගේ පරිකල්පන සූක්ෂ්මතාව අපතේ යවා ඇති බව අප කියන්නේ.

වාර්ගික ගැටලුව පුපුරා යාම

පුරාණ ආනෛයිඋලන්දන් ගමේ දෙමළ කම්කරුවන් ද තෝපාවැව වෑකන්ද අසල තාවකාලික ව පදිංචිව සිටින මුස්ලිම් කම්කරුවන් ද බැල්පාටියේ වැඩට පස්සෙන් පහු කාලයක අවුත් ආණ්ඩුව දුන් ලැයිමේ පදිංචි ව සිටින සිංහල කම්කරුවන් ද ඉතා සමීප ව හා ළෙන්ගතුකමින් ජීවත් වූ පරිසරය කතුවරයා චිත්‍රණය කර ඇත්තේ අතිශයෝක්තියකින් තොර ව ය. මේ එකමුතුකම කොලනි ව්‍යාපාර හරහා පැමිණි සිංහල පිරිස් විසින් 1958 සිංහල දෙමළ කෝලාහලය අවස්ථාවේ විනාශභාග් කරනු ලැබේ. පැරණි ආනෛයිඋලන්දන් දෙමළ ගම්මානයට ගිනි තැබේ. සුවාරිස් ප්‍රමුඛ ලැයිමේ සිංහලයනගේ රැකවරණය ලැබ සැඟවුණු සියලු දෙමළ කම්කරුවෝ සිය දිවි ගලවා ගෙන බේරී සිය පවුල් සමඟ ගම ද සිය ගෙවල් දොරවල් ද අත හැර කිලිනොච්චියට යති. පසුව මේ සිද්ධියේ දෝංකාරය යටතේ නිරන්තර භීතියෙන් වෙසෙන මුස්ලිම් පිරිස් ද තමන්ගේ ජාතිය වෙසෙන ප්‍රදේශ කරා විතැන් වෙති. ආරියවංශ අබේසේකර ලංකාව තුළ වර්ගවාදය ක්‍රමයෙන් ව්‍යාප්ත වන ආකාරය චිත්‍රණය කරන්නේ පාඨකයා තුළ මෙවැනි දේ මේ මිහිපිට කිසි ම විටෙක නොවිය යුතු ය යන ආකල්පය අතිප්‍රබල මනෝභාවික ප්‍රකම්පනය සමඟ අවියෝජනීය ලෙස බද්ධ කරමිනි. මෙහි දී දෙමළ ජනතාව ද මුස්ලිම් ජනතාව ද ස්වාධීන ව, නොවැළැක්විය හැකි ලෙස එළඹෙන “අපට සුරක්ෂිතතාව ඇත්තේ අපේ අය සමඟ වෙසෙන කල්හි ය” යන නිගමනය මානව සමානතාව අගයන ප්‍රගතිශීලී පාඨකයන්ගේ දෑසට කඳුළක් නංවයි. ඒ සාධනීයත්වයන් තිබිය දී ම, යථාවබෝධයෙහි ලා විසල් දෘෂ්ටිවාදාත්මක බාධාවක් හරස් ව තිබේ. එය නම් විසකුරු වර්ගවාදයේ සමාජ ව්‍යසනයේ සැබෑ ප්‍රභවයන් කරා එල්ල විය යුතු කෝපය හුදෙක් දකුණේ සිට කොලනි ව්‍යාපාරය සඳහා මේ පෙදෙස්වලට පැමිණ සිටින “සිය ඇඟෙන් ම සිංහල වර්ගවාදී” නරුමයන් රෑනක පිටින් යැවීම යි. මෙය භ්‍රමයකි. මේ වර්ගභේදවාදී අදහස් ඔවුන් තුළ යහමින් පෝෂණය කළෝ ධනේශ්වර සිංහල දේශපාලකයෝ හා ධනේශ්වර දෙමළ දේශපාලකයෝ නො වෙත් ද? බි්‍රතාන්‍යයන් විසින් ක්‍රියාත්මක කළ “බෙදා වෙන් කොට පාලනය කිරීමේ” ප්‍රතිපත්තිය මෙරට ක්‍රියාත්මක වූයේ සිංහල දෙමළ දෙජාතියෙහි ම ධනේශ්වර නායකයන්ගේ පිටුබලය සහිත ව ය. මේ සියල්ලන්ගේ ම භය භීතිය පැවතුණේ ඔවුන්ගේ පැවැත්මට මාරක වන සිංහල-දෙමළ කම්කරු පන්තියේ එකමුතුවක් සම්බන්ධයෙනි. මේ නවකතාව වර්ගභේදවාදයේ ඓතිහාසික විකාශනයේ ඉසව් පාදා ගැනීමට නො වෙහෙසෙයි. ඒ සඳහා ඥානාලෝකය සම්පාදනය කළ හැකි සුවාරිස් චරිතය නිහඬ ක්‍රියාකාරිකයකු බවට පිරිහෙළා තිබේ.

මෙලෙස කතුවරයා සියල්ල “දකුණෙන් පැමිණි නෛසර්ගික ව ම දෙමළ විරෝධී” කණ්ඩායමක් මතින් යැවීමෙන් සිදු වන්නේ යථාර්ථ ඥානයට වැටකඩොළු බැඳීමක් නො වේ ද? කතුවරයා මතුපිට දෘශ්‍යමානය විනිවිද ගැඹුරු යථාර්ථය ස්පර්ශ නො කිරීමේ ප්‍රතිවිපාකය වන්නේ පොදුවේ පාඨකයා තුළ දැනට මත් පවතින විඥානය වන වර්ගභේදවාදයේ හේතුව දුෂ්ට පුද්ගලයන් රංචුවකගේ ආවේණික ගතිලක්ෂණයන් ය යන්නෙහි ම ඔවුන් තව දුරටත් බන්ධනගත කිරීම යි; කතාවේ ම එන සංකේත ඇසුරෙන් කිව හොත්, ස්වෝත්තමවාදයන් යහමින් ඇවිස්සීම සිය දිවිය දිගු කර ගැනීමේ උපායක් කර ගත් ධනේශ්වර ක්‍රමය දිවි හිමියෙන් රකින “ආරාමදාසයන් හෝ වහල් වාමනයන්” බවට වත්මන් පාඨකයා පත් කිරීම යි.


ආගමේ කාර්යභාරය පිළිබඳ තියුණු විවේචනයක්

ආරියවංශ අබේසේකර ඉතා මත් නිර්භීත පියවරක් තබමින් ලංකාවේ ජන පැවැත්ම කෙරෙහි ආගමික සංස්ථාවල බලපෑම පැහැදිලි වතුරක් සේ පාඨකයන් හමුවේ තබන්නට සමත් ව තිබේ. මේ නටබුන් නගරයට යළි බුද්ධාගම ගෙන එනු ලබන්නේ දකුණේ පන්සලෙන් පිංකැටය කඩා ගෙන ඒ මුදල් හොරකම් කරගෙන, ලොකු හාමුදුරුවන්ගේ වෙද පොත් පවා හොරකම් කර ගෙන වංචාකාරී පැවැත්මකින් සිය දිවි පැවැත්ම ගෙන යාමේ අභිලාශයෙන් එවැනි ම ගිහියන් දෙදෙනකු සමඟ ඉබාගාතේ ඇවිත් වැටෙන ඉන්ද්‍රජෝති නම් චීවරධාරියා අතින් වීම සැබවින් ම උත්ප්‍රාසජනක ය. අහිංසක නුගත් ජනයා මේ චීවරධාරියා පාමුල වැඳ වැටෙති. ඉන්ද්‍රජෝති ඔවුන් මුළා කරන්නේ “සුදු හැඳ ගත් දේවතාවකු තමන්ට හීනෙන් මේ අඩවියේ සිටින අහිංසක මිනිසුන්ට උපකාර වන ලෙස නිතර නිතර හීනෙන් කී බවට” අතේ පැලවෙන බොරු ඇද බාමිනි.

ඉන්ද්‍රජෝති මේ බිමට පය ගැසූ මොහොතේ පටන් සිංහල බෞද්ධයන් අන්‍ය ජාති හා ආගම්වලට සතුරු ආකල්පයකින් පෙළගැස්වීමට ප්‍රයත්න දරන අයුරුත් මෙතෙක් පැවති සහජීවන බලපෑම කරණ කොට ගෙන ගම්වැසියන්ගෙන් එන ප්‍රතිවිරෝධය හමුවේ ඔහු ඒ අදහස් සඟවා ගන්නා අයුරුත් කතුවරයා මැනවින් සිත්තම් කර තිබේ.

මේ ව්‍යාජ චීවරධාරියාගේ ක්ෂණික ව සිදුවන සමූලික පරිවර්තනය- ඔහු ඉතා යහපත් අයකු බවට පෙරළීම- පාඨකයාට කිසි සේත් ඒත්තු නො යයි. එබඳු චර්යාමය විපර්යාසයකට තුඩු දෙන ක්ෂතිමය අත්දැකීමක් හෝ සිද්ධියක් හෝ කතාවේ නො එයි. මේ විපර්යාසය පාඨකයාට දැනෙන්නේ ඉබ්බකුගෙන් පිහාටුවක් වැටුණු කලෙක මෙන් විස්මයක් ඇති කරවමිනි. 1958 දී ගමේ වර්ගභේදවාදය ඇවිළී යන දිනවල පන්සලේ -විශේෂයෙන් දකුණේ වර්ගවාදී පිරිස් උසි ගැන්වීමක් ඉන්ද්‍රජෝතිගේ චර්යාවට බෙහෙවින් ගැළපෙන කොන්දේසි යටතේ- කිසිදු විෂඝෝර මැදිහත් වීමක් සිදු නො වීම කතාවේ මඟ හැරී ගිය තැනක් බව පෙනේ. මේ දුර්වලතා තුඩු දෙන්නේ ධනවාදී රාජ්‍යයෙහි ද දේශපාලකයන්ගේ ද වර්ගවාදී චිවරධාරීන්ගේ ද කිසි ම අනුබලයකින් තොර ව මේ වර්ගවාදී සංහාර මිනිසුන් අතරින් ඉබේ පහළ වන්නේ ය යන මිථ්‍යාව පාඨකයා තුළ වැපිරීමට ම යි.

කෙසේ වෙතත්, දෙමළ හා මුස්ලිම් පිරිස් මේ පෙදෙස අත හැර තමතමන්ගේ මිනිසුන් සිටින ප්‍රදේශවලට යාමට පිටත් වන අවස්ථාවේ නම් ඉන්ද්‍රජෝති හාමුදුරුවන්ගේ යටි උවමනාවන් එළිමහනට ගැනීමට කතුවරයා සමත් වෙයි. මෙසේ විවිධ ජාතීන් ගම හැර වෙන් වෙන් ව යාම ඔහුගේ දේශනාවේ දැක්වෙන්නේ අතිශය නිවැරදි කාලෝචිත සාධනීය පියවරක් හැටියට යි. මේ සංස්ථා මිනිසුන්ගේ ඒකාබද්ධතාවට මොන තරම් හතුරු ද යන්න ස්ථාපිත කිරීමට කතුවරයා සමත් ව තිබීම ප්‍රශංසා කට යුතු වේ.

භ්‍රමණාක්ෂය අත හැරීම

මේ කතාවේ භ්‍රමණ කේන්ද්‍රය සුවාරිස් යැයි අප කියන්නේ ඇයි? මුල සිට ම මේ හුදෙකලා වූ ද මිථ්‍යාවන්ගෙන් පිරී ඉතිරී ගියා වූ ද සංස්කෘතික විහීන වූ සමාජ පරිසරයට ඥානාලෝකය ගෙන එන්නා වූයේ ඔහු නිසා ය. ඔහු ගමට සාපේක්ෂ ව සද්දන්තයකු වූවේ ඕපපාතික ව නො වේ. ඔහු 1935 වසරේ ලංකාවේ ආරම්භ කෙරුණු සමසමාජ පක්ෂයේ මඟ පෙන්වීම යටතේ යම් දේශපාලනික හා සංස්කෘතිකමය ඥානයකට උරුමකම් ලැබ ගත්තෙකි. හේමරත්න, පියදාස ආදින්ට ලෝකය විවෘත කර දුන්නේ ඔහු ය. ඔවුනට දිනා ගන්නට ලෝකයක් ඇති බව ගමේ තරුණයන්ට පෙන්වා දුන්නේ සුවාරිස් ය. ඔවුනට අන්‍යයන්ට වඩා වෙනස් ව සිතන මතන මේ මිනිසා වීරයකු වෙයි. 1958 සිංහල දෙමළ කෝලාහලය මධ්‍යයෙහි තම හිතෛෂි දෙමළ සහෝදර සහෝදරියන් ආරක්ෂා කිරීමට සමසමාජ දෘෂ්ටිවාදයෙන් පන්නරය ලැබ සිටි සුවාරිස් නිර්භීත ව නායකත්වය ගනී. ලැයිමේ සිංහල කම්කරුවන් ඊට පූර්ණ සහාය දෙති. ඔවුන් අතිශය කම්පාවට පත් කරමින් දකුණින් පැමිණි නව කොලනි පිරිස් ආනෛයිඋලන්දන් ගමේ දෙමළ ගෙවල් ගිනි තබති. එසේ වුවත්, ඔවුනට දෙමළ ජීවිත සියල්ල ආරක්ෂා කර ගන්නට පුළුවන් වේ.

සුවාරිස්ගේ සමසමාජකාරකම පිළිබඳ විරුද්ධත්වයක් ගමේ බොහෝ දෙනකු තුළත් බැල්පාටියේ මහත්වරු තුළත් තිබීම කතුවරයාගේ දැක්මට හසු වෙයි. ඔහු සහ ගම අතර ඇත්තේ අපෝහක සම්බන්ධයක් බව, එනම් පරස්පර විරෝධයන්ගේ යුතු එකමුතුවක් බව මැනවින් අපට වැටහෙයි. ගමේ බවලතුන් සමඟ පන්සල් යාමේ දර්ශනය තුළ දිග හැරෙන දෑ මේ තත්වය විදාරණය කිරීමට බෙහෙවින් උදව්කාරක වී තිබේ.

සුවාරිස් ගමෙන් පිටත් ව කොළඹ වරායේ රැකියාවකට යයි. විභාග සමත් පියදාසටත් අනෙක් ළමයින්න්ටත් රැකියා සොයා දෙයි. වෘත්තීය සමිතිවල වැඩ කරයි.

“ආරාමදාස” කතාවේ දුර්වල ම අංශය පැන නඟින්නේ කතාව හරි මැද දී සුවාරිස් කොළඹ ගොස් නොබෝ දිනක සිට ඔහු කතාවෙන් ඍජු ව පෙනී නො සිටීම යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත කතාවේ භ්‍රමණ අක්ෂය කතාව මැද දී බිඳ වැටේ. ප්‍රතිගාමී අදහස් හා ප්‍රගතිශීලී දෘෂ්ටිය අතර ගැටුම අත හැරේ. හේමරත්න වාමන රූප සමඟ ද නාග මුලාදෑණි රූප සමඟ ද කතා කරමින් සාම්ප්‍රායික මිථ්‍යාවන්ට ගොදුරු වන්නේත් සාම්ප්‍රදායික සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ මඟට ම ජීවිතය කැප කරන්නේත් මේ සාධනීය ගැටුම අහිමි වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මුල දී සුවාරිස් හා හේමරත්න පුතා අතර පැවති කිට්ටු සම්බන්ධයත් ඔවුනතර ඇති මානසික බැඳීමත් හඟින පාඨකයා කතාව අවසානයේ සුවාරිස් ඔහු සම්බන්ධයෙන් දක්වන නිහඬතාව ගැන පුදුමයට පත් වෙයි. පියදාසට ලියුම් එවන ඔහු හේමරත්න පුතාට කිසිදු උපදෙසක් නො දෙයි. ඒ කටයුත්ත කෙරෙන්නේ පියදාස අතිනි.

කතාව අවසාන භාගයේ සුවාරිස්ගේ චරිතය මකා දමන ලද්දේ කතුවරයාට හේමරත්න නමැති චරිතය ඔස්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ දෘෂ්ටිවාදාත්මක උවමනාවක් පැවතුණු නිසා ද යන සිතිවිල්ල පාඨක මනස තුළ අවිවාදයෙන් මතු වෙයි. ඒ කෙසේ වෙතත් සුවාරිස්ගේ චරිතයේ බුද්ධිමය ප්‍රභාව අකාමකා දැමීමෙන් කෘතියේ සමුදයාර්ථයට සිදු වී ඇති හානිය මෙතෙකැයි කියා නිම කළ නොහැකි ය. කෙසේ වෙතත් මා දකින්නේ මේ නවකතාව මහේශාක්‍ය ලෙස ගමනේ යෙදුණු එහෙත් සිය ගමනාන්තයට යාමට නොහැකි ව ගමනේ මධ්‍යයෙහි දී ගල් පරයක හැපී විනාශ වූ දැවැන්ත ටයිටැනික් නෞකාව මෙන් බව ය.

සමාලෝචනය

ආරියවංශ අබේසේකර ප්‍රතිභා සම්පන්නයෙකි. ඔහුගේ වාග්කෝෂය ද පුළුල් ය. විෂය වස්තුවට අතිශය උචිත ලෙස බස හසුරවමින් පෙළහර පාන්නට ඔහු සමත් ය. ඔහු ඉතිහාසය, දේශපාලනය හා ආගම ආදී දෑ පිළිබඳ විවෘත ඇසකින් බලයි. සිය ලේඛන කාර්යය සම්බන්ධ ව ඔහු මෙසේ කියා තිබේ.

“ලියන්නේ ඇයිද යන්නට කවරදාත් ම’වෙත හරි පිළිතුරක් තිබුණේ නැත. මා පෙරගමන්කරුවකු, සමාජ ශෝධකයකු හෝ ජනතාව ඥානනය කරන්නකු නොව, දකින දේ සිත්තමට නඟන්නකු පමණ ය.” කලාකරුවා සමාජ ශෝධකයකු වුව හොත් ඔහු අතින් කලාව පලා යන බව ඇත්ත ය. එහෙත් සමාජයක සිටින නිර්ව්‍යාජ ලේඛකයකු ඔහු දැන හෝ නොදැන පෙරගමන්කරුවකු ද ජනතාව මනෝභාවික ව උසස් තත්වයට පමුණුවමින් ඒ හා බැඳී යථාර්ථය ඥානය සම්පාදනය කරන්නකු බවට ද පත් වෙයි. මෙසේ වන්නේ ලේඛකයා ඕපපාතික සත්වයකු නොව, මේ පන්ති සමාජයේ අන්‍යයන්ට සාපේක්ෂ ව වඩා හොඳින් ඇස් කන් සහ මනස සංවේදී ව හසුරු වන කෙනකු බැවිනි.

ඉහත කතුවර ප්‍රකාශයට එරෙහි ව “ආරාමදාස” කෘතිය ඇතැම් අංශයන්ගෙන් ප්‍රබල ව නැඟී සිටින අයුරු ඉහත විචාර සටහනින් පැහැදිලි වනු ඇතැ යි සිතමි. අනෙක් අතට, කලාව හා සමාජ ජීවිතය අතර ඇති අත්‍යන්ත සම්බන්ධය වටහා ගැනීමත් කලාව තමන් දකින දේ සිත්තමට නැඟීම පමණක් නො වන්නේ ය යන කරුණ ගැන කතුවරයකු සවිඥාන වීමත් වඩා කලාත්මක වූත් උසස් වූත් කලා නිර්මාණයන් බිහි කිරීමේ ලා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසි වෙති යි මම සිතමි.

ඔබගේ අදහස් අපට එවන්න.