දිව්‍යමය ප්‍රහසනය වෙළුම 1:
අපාය දෙවෙනි සර්ගය දිව්‍යමය ප්‍රහසනය ( පැදි XXIII - XL)

2022 ජූලි 3

Madonna by Leonardo Da Vinci

“මම වෙමි බ්‍රියට්‍රිස් ඔබ හමුවනු වස්

ඔබ පොළඹනු වස් යා යුතු ගමනට,

මා යළි යනු ලැදි එතැනින් සපැමිණි

ආලය උල්පත, මේ බස එහි දිය,’*1

‘ආපසු ගිය කල දෙවියන් වෙත යළි

ඔබ ගුණ ගයනෙමි එතුමන් අබිමුව,’

ඈ මට පැවසූ එවදන් එපමණි

ඉන් පසු නොලසව මවදන් පෑවෙමි.*2

දෙව්පුර සේසත් සිහසුන් ලැබ ගත්

රුවන් පබා සතු රුසිරින් බබළන

යුවතිය ඔබ වේ මනුසත නිවසන

ලෞකික පටු ලොව පරයන වස්තුව.*3

ඔබ වැනි කෙනෙකුන් නැති නම් මේ ලොව

කෙලෙස හුදී ජන නැ‍ඟෙනු ද පරදා,

දෙවියන් රැඳ වූ ලෞකික නෙක දේ

කුඩා ම කවය හිමි පරිමණ්ඩලයක.*4

ඔබ බස අයැදුම අසා පිරේ සිත

මින් පෙර නොවේ ද කීකරු විය යුතු,

ඔබ අණ නොකළ ද පමාව මා අත

ඔබ අණ කෙරුමෙන් සියල්ල විස‍ඳේ.*5

එනමුත් කිව මැන මේ දුර ගෙවනට

අගාධ අපා කට වෙත බැස එන්නට

නොබියව නොලසව අදිටන් කළ’යුරු,

නැවතත් යා යුතු උත්තම තැන සිට.*6

‘ගැඹුරු අරුත් තල සෙවුනා පැණයට

පිළිතුරු සපයමි සරල බසිනි මම,

නිරා මුඛය වෙත යොමු වුණු ගමනට

බිය සැක මා වෙත නොපැමිණි කාරණ,*7

කරුණා ගුණ පිරි ප්‍රේත ආත්මය

මෙහි සදාතනිකව බලා සිටිනා,

හිංසා හානිය කළ හැකි නම් මිස

අප අන් යමකට බිය වෙනු කුමට ද?*8

උත්තම දෙවි රද මට දුන් ගුණ තෙද

පිරිපත නොතකන සවි බල මා සතු,

නුඹ අත්විඳිනා දුක්කඳ මට නැත.

දනුව අපා ගිනි නොදැනෙයි මා හට.*9

මොක්පුර වැජඹෙන දෙව් මව් මාතා

දුක් විය ඔහු හට වූ දේ දැකුමෙන්,

ඈ සතු කරුණා මහිමය මතු විය

දෙව් පුර සිරිතට පටහැනි අයුරින්.*10

ඇය වහා කැඳවා සාන්ත ලුසියා

පැවසී තම බස මහ කරුණාවෙන්,

‘මරු කට වෙත වැටි ඔබ විශ්වාසී

සුදසුන් මිනිසා පවරමි ඔබ වෙත.’ 11

කුරිරුකමට එරෙහිව අවි ඔසවන

ලුසියා ආවේ ඉගිලී මා වෙත,

ඒ මොහොතේ මා සිටියේ සිත්බර

රාකෙල් නම් සුර පුරාතනිය ළඟ.12

ඇය මට පැවසී ලෙන්ගතු මෙවදන්,

‘සුර පැසසුම් ලද මහරු බියට්‍රිස්

සරණ නොවන්නෙ ද නොලසව දිව ගොස්

ඔබ වෙත පෙම් බැඳි සුහදාණන් හට.’ 13

‘පිටුපා දුර්ජන නොසැබි සමාජය

ඔහු පෙම් කැකුලින් පිදුවේ ඔබ හද,

නොඇසෙ ද සරණක් අයදින ඔහු හඬ

මරුවා ඇවිදින් ඉල්ලයි ඔහු පණ.’ 14

‘ඔහුගේ භීතිය රුදුරු ගඟක් නම්

ලොව නැත සයුරක් ඒ ගඟ පරයන,

ඒ සැඬ ගඟ ළඟ ගැලවුම හිමි නැති

නංවන දුක් නද නොඇසෙ ද යුවතිය?’ 15

ලුසියා බස මා සවනට අම’යුරු,

මනු ලොව වුව නැත මා වැනි ලොබ පිරි

සිය තුට සොයමින් නොදැමිව හැසිරෙන

අන් කෙනකුන් තව ඔහු වෙත දිව යන.16

ඉවසුම් නැති විය සුර අසුනින් බැස

ඇවිදින් අදහන තෙක් ඔබ සුමියුරු

උත්තම කවි බස දනන් වසඟ කළ,

පමණ නොකළැකි විශ්වාසය එය.” *17

Saint Lucia with her eyes on the plate

ඩාන්ටේ සිය අපා ගමන ගැන බියමුසු අතීරණයෙන් පසුවන අතර අසහාය වර්ජිල් කවියා පැමිණ සිටින්නේ බියට්‍රිස්ගේ ඇණවුමෙන් බව දැන ගැනීමෙන් පසු දිග හැරෙන සංවාද ජවනිකාවයි මේ!එසේ පැමිණීමේ ගමනට බියට්‍රිස් පෙලඹුණේ කෙසේ දැයි කියවේ.

සංගීත විද්‍යාවේ වදනින් කියත හොත් දෙවෙනි සර්ගයේ පළමුවෙනි චලනය (1st movement) වන්නේ වර්ජිල්ගේ යෝජනාව ඉදිරියේ ඩාන්ටේ තුළ ඇති වන අසහනය නම් දෙවෙනි චලනය වන්නේ (2nd movement) තමාගේ පැමිණීම ගැන සිදු කරන හේතුයුක්ති විවරණය යි. දෙවෙනි චලනය මඟින් පළමු චලනයේ දී අහිමි වී තිබෙන ඩාන්ටේගේ ධෛර්ය පුනරුත්ථාපනය (restoration of courage) කෙරේ.

එය දිව්‍යමය ආදරය නිසා පැමිණි ගමනකි. ඩාන්ටේ අනතුරෙන් ගලවා ගැනීමේ උත්සාහයට වර්ජිල් මැදිහත් කර ගැනීම ඔහුගේ කවියේ ශ්‍රේෂ්ඨත්වය නිසා සිදු වී ඇත. දිව්‍යමයභාවය විසින් පවා කාව්‍යයේ ඇසුර සොයනු ලබන බව මින් හැඟවේ. තමා ආපසු යා යුතු සුර ලොවට ගිය විට වර්ජිල්ගේ ගුණ දෙවියන් හමුවේ පවසන බව බියට්‍රිස් කියයි.

ඉන් පසු වර්ජිල් හා බියට්‍රිස් අතර සංවාදයක් ඇති වන අතර වර්ජිල් පවසන්නේ කුඩා කුඩා අරමුණු සහ ප්‍රපංච සහිත ලෞකික ලෝකයේ සීමිතභාවය ජයගනු ලබන්නේ බියට්‍රිස් විසින් නියෝජනය කරනු ලබන උතුම් ආදරය නිසා බව යි.

වර්ජිල්ට ද ආදරය නම් කාරණය පරමෝත්කෘෂ්ට වුවමනාවකි. එහෙයින් ඔහු බියට්‍රිස්ගේ ඉල්ලීම ඉටු කරන්නට පුල පුලා බලා සිටියි. ඒ අතර භක්තිවන්ත වහල්භාවය තුළ නොව තර්ක බුද්ධිය තුළ වෙසෙමින් බියට්‍රිස්ගේ අයදුමේ තර්කානුකූල විකාශන සන්තතිය දැන ගන්නටත් වර්ජිල්ට වුවමනා වේ.

බිහිසුණු අපායේ කට ළඟට තනිව එන්නට තරම් ඇය නිර්භීත වූයේ කෙසේ දැයි වර්ජිල් ඇගෙන් වහා විමසයි. එය මෝක්ෂයෙන් හෙවත් සුර ලොවින් බැස ආ යුතු අසාමාන්‍ය ගමනකි. සුර සැප ලැබූවකු අපායක් ගැන සිතීම ද විශේෂ කාරණයකි.

වර්ජිල්ගේ ප්‍රඥාවන්තභාවය හා මහා කාව්‍යමය කීර්තිය දන්නාබ්‍රියට්‍රිස් ද ඒ ප්‍රශ්නය බැරෑරුම්කොට සලකයි. ඇය මුලින් පවසන්නේ තමාට බියක් හෝ වේදනාවක් ඇති කරන්නට අපායට නොහැකි බව යි. ඉන් පසු තර්කානුකූල බසින් හා හේතු ප්‍රත්‍ය නියාමයෙහි රැ‍ඳෙමින් ඇය වැදගත් කාරණයක් පවසයි. එනම්, ඩාන්ටේ වැටී සිටින අනතුර ගැන මුලින් සංවේදී වී ඇත්තේ මොක්පුරට අග්‍ර කාන්තා රත්නය වන කන්‍ය මරියා (Virgin Mary) ය. ඇය ක්‍රිස්තුමාගේ මවයි.

Rachel and Jacob

ඩාන්ටේ වෙනුවෙන් මහත් සොවට පත් මරියා වහා කැඳවන්නේ එහි වැසි තවත් කාන්තා රත්නයක් වූ සාන්ත ලුසියා වන අතර ඇගේ නාම අර්ථය ලෙස පවතින්නේ ‘දීප්තිය’ යි.

ඩාන්ටේ පිළිබඳ වගකීම ලුසියාට පැවරේ. ඇය ඒ වගකීම ඉටු කරන අදිටනින් වහා බියට්‍රිස් සොයා එයි. එවේලෙහි බියට්‍රිස් පුරාණ ගිවිසුමේ කියවෙන කල්පනාකාරී කාන්තා රත්නයක් වූ රාකෙල් ළඟ අසුන් ගෙන සිටියා ය. ක්‍රිස්තියානි ආගමික සාහිත්‍යයේ සඳහන් කල්පනාබර චරිතයක් ගැන විශේෂකොට සඳහන් කිරීම තර්ක බුද්ධියේ (Reason) වැදගත්කම අවධාරණය කරයි. තවද සාන්තුවර සාන්තුවරියන්ගේ චරිතාපදාන (biographies of Saints) අනුව ප්‍රචණ්ඩත්වයට හිස නොනැමූ වීරෝධාර කාන්තාවක් වූ ලුසියා විසින් එලෙස බ්‍රියට්‍රිස් තෝරා ගන්නා ලද්දේ ඇය ඩාන්ටේගේ බලවත් ප්‍රේමයට පාත්‍ර වුණු අග්‍රගන්‍ය කාන්තාව වන නිසා ය.

ඩාන්ටේගේ අවාසනාවන්ත තත්ත්වය අසන ලද සැණින් ඔහුට පිහිට වීමේ බලවත් ආශාව බියට්‍රිස් තුළ ඇති වේ. ඇය ඒ වෙනුවෙන් වර්ජිල් කවියා තෝරා ගනියි. එනයින් සුර ලෝ චරිත හුදෙක් ‘සේයා පේතයකු’ (Shade) වූ වර්ජිල් වෙත යොමු වීමේ සන්තතිය දීර්ඝ හා තාර්කික එකක් වන අතර ඒ සියල්ල ආදරය මුල්කොට ගෙන උපදී.

දිව්‍යමය ප්‍රහසනයේ මේ කොටසේ ප්‍රධාන ස්ත්‍රීහු තිදෙනෙක් ද, නාමමාත්‍රික තවත් ස්ත්‍රියක් ද කාව්‍ය කරළියට එති. බියට්‍රිස් ප්‍රධාන වශයෙන් ද, මරියා සහ ලුසියා උප චරිත හා කාව්‍ය සංවාදයේ දී වර නැ‍ඟෙන චරිත ද වශයෙනි.

මේ අතරින් බියට්‍රිස් ප්‍රධාන කාව්‍ය චරිතය වූවත් ඩාන්ටේ සිය කාව්‍යයේ මේ කොටසට මුල්කොට ගන්නා ප්‍රධාන චරිතය වන්නේ ක්‍රිස්තියානි ආගමික සම්ප්‍රදායේ හැටියට පූජනීයත්වය අතින් අග්‍රතම කාන්තා චරිතය වන මේරි හෙවත් මරියා ය. ඇය ක්‍රිස්තුතුමාගේ මව ලෙස බයිබලයේ අලුත් ගිවිසුමේ ප්‍රධාන චරිතයක් වන අතර සමස්ත සම්ප්‍රදායේ හා විශ්වාස පද්ධතියේ අග්‍රතර කාන්තා රත්නය වේ.

පරාදීසවාසී ලුසියා ද සම්ප්‍රදායේ හැටියට ප්‍රබල සාන්තුවර චරිතයක් වන අතර ශෝකජනක ජීවන චරිතය අතින් ඇස් දෙක මුල්කොට ගත් චරිතයක් ලෙස බෞද්ධ සාහිත්‍යයේ සුභා තෙරණියට සමාන ය. තවද මහත් භක්තියෙන් දෙවියන්ට තමා කැප කිරීම අතින් හින්දු සාහිත්‍යයේ කරිකාල් අම්මයියර් චරිතයට සමාන ය.

ඉතාලියේ සිසිලි දූපතේ සයිරකීස් (Syracuse) නම් ඓතිහාසික නගරයේ ක්‍රි.ව. 283 උපන් ලුසියා සිය කන්‍යාභාවය දෙවියන්ට කැප කළ (virginity dedicated to God) චරිතයක් වූ අතර ඇගේ මවගේ කැමැත්ත අනුව ධනවත් පැගන් (pagan) හෙවත් එවකට මිථ්‍යාදෘෂ්ටික ලෙස සැලකුණු ධනවත් පුරුෂයකුට තමා විවාහ කර දීමට ගත් යෝජනාවට සම්පූර්ණයෙන් පිටුපෑවා ය. ඉන් උරණ වූ ඔහු ඇය එවකට පැවති නීතිය අනුව ක්‍රිස්තියානි ධර්මය අනුගමනය කරන්නියක ලෙස චෝදනාකොට මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කරන්නටත්, ගණිකා නිවාසයකට යවා අපවිත්‍ර කරන්නටත් තර්ජනය කළේ ය.

ඇය රැගෙන යන්නට සෙබළුන් පැමිණි විට ඇය සිටි තැන ම නොසෙල්වී සිටියා ය. ඇගේ දෙනෙත් තමාට නොලැබෙන්නේ නම් මේ ලොව අන් කිසිවකුට ඒවා ලැබිය යුතු නැති බවඑවිට ඇගේ විවාහපේක්ෂකයා පැවසී ය. සෙබළු ඇගේ දෙනෙත් උගුළුවා ඇය මරා දැමූහ. ක්‍රිස්තියානි සම්ප්‍රදායේ කියවෙන පරිදි දෙවියෝ ඇයට මෙලොව කිසිවකුට නැති අන්දමේ දීප්තිමත් හා සුන්දරතම ඇස් දෙක ලබා දුන්හ.

‘දිව්‍යමය ප්‍රහසනය’ අනුව ඇය ඩාන්ටේගේ කාන්තා ත්‍රිත්වයෙන් එක් කතක් වන අතර ඇය ක්‍රිස්තියානි සම්ප්‍රදාය අනුව අන්ධයින්ගේ අනුග්‍රාහික නාම-සාන්තුවරිය (patron saint of the blind) යි. ඩාන්ටේ ද ඇය තමාගේ ආරක්ෂක දේවතාවිය වැනි නාම සාන්තුවරිය ලෙස සලකයි. ඔහු තමා ගැන සිතන්නේ අධ්‍යාත්මිකත්වය මෙන්ම කාව්‍යය වෙනුවෙන් ද මඟ පෙන්වන්නකු වුවමනා වන අන්ධයකු ලෙසිනි.

මෙම කාන්තා රත්න තුනට ම පොදු ලක්ෂණයක් හා පොදු නාමවිශේෂණයක් ඇත. එනම් ‘ආශීර්වාදලත් - භාග්‍යවත් - භගවත් - සිරිමත්’ (Blessed) යන උදාර අර්ථය ඔවුන් සතු ය.ඉන් පැවසෙන්නේ දෙවියන්ගේ ආශීර්වාදය ලද, දෙවියන් විසින් උත්කෘෂ්ටභාවයට ඔසවන ලද හා මහේශාක්‍ය ශ්‍රේෂ්ඨත්වයකට පත්කොට අභිෂේක කරවන ලද බව යි. මෙහි ග්‍රීක සමාන පදය makarios වන අතර ඉන් කියවෙන්නේ ඒ පුද්ගලයා දෙවියන්ගේ වරම් සහිත අනුග්‍රහය ලබන මට්ටමක සිටිමින් සෙස්සන්ගේ ඊර්ශ්‍යාවට ලක්වන තලයක හෙවත් ප්‍රාර්ථනීය තත්ත්වයක පසුවන බව ය.

ඒ කාන්තා ත්‍රිත්වයට අතිරේක වශයෙන් රේචල් හෙවත් රාකෙල් නම් චරිතය ගැන ද කියවී ඇත. ඇගේ ලකුණු දෙකක් ගැන කියවේ. එකක් ඇගේ පුරාතන බව යි. දෙවැන්න තද සිතුවිල්ලේ ගැලී සිටින්නියක වන බව යි. ඇය බයිබලයේ පුරාණ ගිවිසුමේ කියවෙන ආකර්ෂණීය කාන්තා චරිතයකි. ඊශ්‍රායෙල් ගෝත්‍රයන්ගේ මූලාරම්භකයින් දෙදෙනකු වූ ජෝශප් හා බෙන්ජමින්ගේ මව වූ ඇය ජාකොබ් නම් එඩේර ආදිපීතෘවරයාගේ දෙවෙනි බිරිඳ වූ අතර පුරාණ ගිවිසුමේ ‘උත්පත්ති’ (Genesis) නම් මුල් පුස්තකයේ ඇය ගැන මෙසේ සඳහනි.

“ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියහ. වැඩිමලාගේ නම ලෙයා ය. බාලයාගේ නම රාකෙල් ය. ලෙයාගේ ඇස් සිවුමැලි ය. රාකෙල් රූමත් ය. සුකොමල ය. ජාකොබ් රාකෙල්ට පෙම් බැඳ, “ඔබේ බාල දූ වන රාකෙල් වෙනුවෙන් සත් අවුරුද්දක් මම ඔබට සේවය කරන්නෙමි,” යි කීවේ ය. ලාබන් ද කතාකොට “වෙන මිනිසකුට ඇය පාවා දෙනවාට වඩා ඔබට ඈ දීම හොඳ ය. එබැවින් මා සමඟ නවතින්නැ” යි උත්තර දුනි. ජාකොබ් ද රාකෙල් නිසා සත් වසරක් සේවය කළ අතර ඔහුට‍ එය ටික දවසක් සේ දැනුණි.”

“ඉන් පසු ජාකොබ් ලාබන්ට කතාකොට “මාගේ සේවා කාලය දැන් සම්පූර්ණ වී ඇත. ඈ සමඟ සංවාසයේ යෙදෙන පිණිස මාගේ භාර්යාව මට දෙන්නැ” යි ඉල්ලී ය. ලාබන් එහි සිටි සියලු මිනිසුන් කැඳවා මංගල භෝජනයක් පැවැත්වී ය. පසුව එම රාත්‍රියේ ඔහු තම වැඩිමල් දුව වන ලෙයා කැඳවා ජාකොබ් වෙත ගෙනාවේ ය. ජාකොබ් ඈ සමඟ සංවාසයේ යෙදිණ. තවද ලාබන් තම දාසිය වන සිල්පා, ලෙයාගේ සේවිකාව වශයෙන් තම දුවට දුන්නේ ය. පසු දින උදය පහන් වූ කල පුදුමයකට මෙන් එහි සිටියේ ලෙයා ය. එවිට ඔහු ලාබන් අමතා, “ඔබ මට මේ කළ දේ කුමක් ද? මා ඔබට සේවය කළේ රාකෙල් නිසා නොවේ ද? ඔබ මා රැවටුවේ මන්ද?” යි ඇසී ය. ලාබන් ද උත්තර දෙමින් “වැඩිමලාට කලින් බාලයා සරණ පාවා දීම අපේ රටේ සිරිත නොවේ. ඔබ ඇගේ මංගල සතිය සම්පූර්ණ කරන්න. ඔබ මට තවත් සත් අවුරුද්දක් සේවය කරන්නෙහි නම් මම රාකෙල් ද ඔබට සරණ පාවා දෙමි,” යි කීහ. ජාකොබ් ද එසේ කර, මංගල සතිය සම්පූර්ණ කළ පසු, ලාබන් ඔහුට තම දෙවන දුව වන රාකෙල් බිරිඳ වශයෙන් සරණ පාවා දුන්නේ ය.”

ඩාන්ටේ විසින් විස්තර කරනු ලබන ස්වර්ග ජවනිකාවේ (heavenly scene) රාකෙල් සිටින්නේ අවලෝකනාත්මක චරිතයක් ලෙස වීම ඇගේ සංකීර්ණ ජීවන අභියෝග සහිත දිවි පුවතට මැනවින් ගැලපෙන අතර ඩාන්ටේ ඇය සමඟ ආධ්‍යාත්මික සහෝදරත්වයක් ගොඩනගා ගැනීම ඔහුගේ දුෂ්කර දිවි පුවතට අනුව ද ඉතා සාධාරණ වේ.

රාකෙල්ගේ දිග කථාවේ ඉතිරි කොටසින් ඇගේ කල්පනාබර දිවිය වඩාත් හේතුයුක්ත කෙරේ. ඒ අනුව ජාකොබ් ලෙයාට වඩා රාකෙල්ට ආදරය කරයි. ලෙයා සිය සැමියාට නුරුස්සන බව දකින දෙවියෝ ඇයට දරුවකු පිළිසිඳ ගැනීමට සලස්වයි. ඇය ගැබ් ගෙන පුතෙකු වදයි. එනමුත් රාකෙල්ට දරුවන් නොලැබේ. ලෙයාට දරුවන් තිදෙනෙකු ලැබෙන අතර ජාකොබ් අමතා “මට දරුවන් දෙන්න. නැති නම් මම නසිමි” යි රාකෙල් කියයි. එවිට ජාකොබ් කෝපයෙන් දැවී “මට දෙවියන්ගේ තැන ගත හැකි ද? ගැබ් ගැනීමෙන් ඔබ වළක්වා ඇත්තේ දෙවියන්,” යයි පවසයි. එවිට ඇය මෙසේ කියයි. “මෙන්න මගේ සේවිකාව වන බිල්හා. ඔබ ඈ සමඟ සංවාසයේ යෙදෙන්න. ඇගෙන් මට දරුවන් ලබා ගත හැකි ය,” කියා බිල්හා ඔහුට සරණ පාවා දෙයි. ඇයට දරුවකු ලැබුණු විට රාකෙල් සතුටු වෙයි. බිල්හාට දෙවෙනි දරුවා ද ලැබේ. “මගේ සොහොයුරී සමඟ මාර යුද්ධයක් කර මම ජය ගතිමි” යි රාකෙල් කියයි.

රාකෙල්ගේ කල්පනාකාරී ජීවන අරගලය එතැනින් අවසන් නොවේ. තිරිඟු අස්වනු නෙළන කාලයේ දී ලෙයාගේ වැඩිමල් දරුවා වූ රූබන් කෙතට ගොස් දුදායිම් පැළ කිහිපයක් සොයා ගෙන පැමිණ සිය මවට දෙයි. රාකෙල් ඉන් පැළ කිහිපයක් සිය සොහොයුරිය වෙතින් ඉල්ලා සිටියි. එවිට ලෙයා මෙසේ ඇයට චෝදනා කරයි. “ඔබ මගේ සැමියා පාවා ගත්තා මදි ද? දැන් මගේ පුතුන්ගේදුදායිම් පැළ කිහිපයත් පැහැර ගන්නේ ද?” යි අසයි. එවිට රාකෙල් ඇයට මෙවැනි යෝජනාවක් කරයි. “ඔබේ පුතුන්ගේ දුදායිම් පැළ මට දුන හොත් අද රාත්‍රියේ ඔබට මගේ සැමියා සමඟ සැතපෙන්නට පුළුවන.” ලෙයා දුදායිම් පැළ රාකෙල්ට දෙයි.

සවස් කල ජාකොබ් කෙතේ සිට එන විට ලෙයා ඔහුට මෙසේ කියයි. “ඔබ අද මා වෙත පැමිණිය යුතු ය. මා මගේ පුතුන්ගේදුදායිම් පැළ දී මම ඔබ කුලියට ගෙන ඇත.” ලෙයා නැවතත් ගැබ් ගෙන ඔහුට දාව තවත් පුතෙකු ලබයි. පසුව දෙවියෝ රාකෙල් ගැන ද කල්පනාකොට ඇයට පුතෙකු ලබා දෙයි.

ජාකොබ් සහ ලාබන්ගේ පුතුන් අතර ඇති වන ආරවුලකින් පසු ජාකොබ් තම පුතුන් හා භාර්යාවන් ඔටුවන් පිට නංවා ගෙන ලාබන්ට ද නොකියා මෙසපොතේමියාවේ සිට තම ඥාතීන් සිටින කානාන් දේශය වෙත යන්නට පටන් ගනියි. මේ පලා යාමට පෙර රාකෙල් තම පියාට අයිති කුල දේවතා රූප සොරා ගනියි. ඒ බව ජාකොබ් නොදනියි. ජාකොබ් පලා ගිය බව දැන ගත් විට ලාබන් ඔහු ලුහුබැඳ එයි. සත් දිනට පසු හමු වූ විට ලාබන් මෙසේ කියයි.

“ඔබ ඔබගේ පියාගේ ගෘහය වෙත යන්නට ඇති ආශාව නිසා මෙසේ පැමිණි බව මම දනිමි. එනමුත් ඔබ මගේ කුල දේවතා රූප සොරා ගත්තේ මන්ද?” යි විමසයි. එවිට ජාකොබ් මෙසේ කියයි. “ඔබ ඔබේ දියණියන් බලහත්කාරයෙන් මා වෙතින් පැහැර ගනිති යි සිතා මම බියට පත් වූයෙමි. ඔබගේ කුල දේවතා රූප පැහැර ගත් කෙනෙකු අප අතර සිටින්නේ නම් ඒ තැනැත්තා තව දුරටත් ජීවතුන් අතර නොසිටිය යුතු ය.” තමන් හා තමාගේ පිරිස සතු සියල්ල පරීක්ෂා කරන්නැයි ඔහු ලාබන්ට කියයි.

ලාබන් මුලින් ජාකොබ්ගේ කූඩාරම ද, පසුව ලෙයාගේ හා සේවිකාවන් දෙදෙනාගේ කූඩාරම් ද පරීක්ෂා කරන නමුත් කුල දේවතා රූප හමු නොවේ. අන්තිමේ දී රාකෙල්ගේ කූඩාරමට ඔහු ඇතුළු වේ. ඇය සොරා ගත් දේවතා රූප ඔටුවාගේ සැදැලයේ දමා ඒවා උඩ වාඩි වී සිටියි. ඇය ලාබන්ට මෙසේ කියයි. “තාත්තේ ඔබ ඉදිරියේ මට නැඟිට සිටීමට නොහැකි වීම ගැන නොසතුටු නොවන්න. මට මාසික ඔසප් වීම සිදු වී ඇත.” ලාබන් තම ගෘහ දේවාතා රූප අන් තැන්වල සොයන නමුත් හමු නොවේ.

ජාකොබ් මෙසපොතේමියාවෙන් පිටත් වී එන විට දෙවියන් ඔහුට දර්ශනය වී ආශීර්වාද කරයි. එසේ පැමිණෙන අතරේ දී රාකෙල් දරු ප්‍රසූතයක දී මියයයි. ජාකොබ් ඇගේ සොහොන පිට සිහිවටනයක් ඉදි කරයි. ඇගේ මුල් දරුවා ජෝශප් වන අතර දෙවෙනි දරුවාට බෙන් ඕනි යන නම තබන ලෙස ඇය මරණ මංචකයේ දී ඉල්ලයි. එහි තේරුම ‘මගේ වැලපීමේ දරුවා’ (son of my mourning) යන්න යි. ජාකොබ් ඔහුට බෙන්ජමින් යන නම තබයි. ඒ වන විට ජාකොබ් මහලු වී සිටි බැවින් එහි අර්ථය ‘මගේ කාලයේ දරුවා’ (son of my days) යන්න යි. පිටුවහල් වීම හා ජාතිකත්වය (exile and nationhood)අතර දෝලනය වන්නා වූ ඊශ්රායෙල් ‍වංශිකයින්ගේ නායකයා වන්නේ බෙන්ජමින් ය.

එහෙයින් ඩාන්ටේ විසින් රාකෙල් සිය කාව්‍යය තුළ නාම මාත්‍රයෙන් වූවත් රඳවනු ලැබීම ගැඹුරින් ම අර්ථවත් ය. එක් අතකින් රාකෙල්ගේ සංකීර්ණ ජීවිතය තුළ ඇගේ කල්පනාවට ලැබෙන්නට ඇති විශේෂත්වය ඉන් හඟවනු ලබන අතර බයිබලයේ සඳහන් ස්ත්‍රීන් අතරින් රාකෙල් චරිතය කලාත්මක නිරූපණය අතින් අංගසම්පූර්ණ චරිතයක් බව පෙනේ. හෝමර්ගේ ඔඩිසි කාව්‍යය සම්බන්ධයෙන් ජේම්ස් ජොයිස් පැවසුවේ යුලිසිස් හෙවත් ඔඩිසියස් ග්‍රීක සාහිත්‍යයේ පූර්ණ මිනිස් රූපය (Total Man) බව ය. ඒ අනුව රාකෙල් බයිබල් සාහිත්‍යයේ පූර්ණ කාන්තාව (Total Woman) බව නිගමනය කරන්නට බාධාවක්අපට නොපෙනේ.

ඩාන්ටේ තම කාව්‍යයට ලබා දෙන කලාත්මක තීව්‍රතාව හා පෘථුලත්වය එම ව්‍යංගාර්ථවත් ඉඟිලෑමෙන් (allusion) පැහැදිලි වේ. තවත් දුරටත් කල්පනා කරන විට රාකෙල් තම පියා අත්හැර, ඔහුගේ ගෘහ දේවතා රූප ද සොරා ගෙන, තම සැමියාගේ දෙවෙනි බිරිඳ ලෙස පලා යන අතරේ දරු ප්‍රසූතියක දී මරු දැකීම හා අනාගත වංශ ප්‍රධානියකු වූ දරුවකු බිහි කිරීම ඩාන්ටේගේ පිටුවහල් ජීවිතයට හා තම දරුවා වූ ‘දිව්‍යමය ප්‍රහසනය’ බිහි කිරීමට සමපාත වේ.

රාකෙල් සිය මුල් බිම අහිමි කර ගනිමින් නව බිමක් සොයා යන අතරේ මියයයි. ඩාන්ටේගේ ඉරණම ද පිටුවහල් වීම හා ජාතිකත්වය අතර දෝලනය වූවකි. එය ෆ්ලොරන්සය හා රෝමය අතර බෙදී ගිය අතර ඔහු තම කාව්‍ය දරුවා බිහිකොට පිටුවහලේ මියගියේ ය.

මේ චරිත සියල්ල බටහිර චිත්‍ර කලාවේ නිරූපණය වී ඇති අතර දේව මාතා චරිතය මධ්‍යකාලීන චිත්‍ර කලාවේ හා විද්‍යා පුනර්ජීවන කලාවේ මුඛ්‍යතම මැඩෝනා (Madona) රූපය වේ. ජාකොබ් චරිතය ඔහුගේ අද්භූත ලෙස පොරබැදීම ලෙස මධ්‍යකාලීන යුගයේ සිට නූතන චිත්‍ර කලාව දක්වා නිරූපණය වී ඇති අතර එය නූතන චිත්‍ර ශිල්පී පොල් ගොගැන් ද චිත්‍රයට නඟා ඇත (Vision of the Sermon, Jacob Wristling with the Angel, 1888).

-*1.මේ කොටසේ පළමුවෙනි පරිවර්තිත පැදියේ දී බියට්‍රිස් ලිම්බෝව (Limbo)කරා බැස ආ සැටිත්, ඇය තුළ ඩාන්ටේ කෙරෙහි ඇති උනන්දුවත් පවසමින් වර්ජිල් ඔහුගේ බිය පහකරමින් සනසන්නට උත්සාහ ගනියි. ඩාන්ටේ එසේ සන්සුන් කරනු පිණිස වර්ජිල් ඔහුට බියට්‍රිස්ගේ වදන් පුනරුච්චාරණය කරයි. ඇය වර්ජිල්ට මෙසේ කියා ඇත.

‘මම වෙමි බ්‍රියට්‍රිස් ඔබ හමුවනු වස්

ඔබ පොළඹනු වස් යා යුතු ගමනට, මා යළි යනු ලැදි

එතැනින් සපැමිණි

ආලය උල්පත, මේ බස එහි දිය.’ ‍

එහි පිටත් වී යන ලෙස ඔබ වෙතින් උදෙක්ම ඉල්ලා සිටින්නේ බියට්‍රිස්වන මා ය. මා පැමිණ සිටින්නේ ආපසු යාමට උනන්දුවෙන් බලා සිටින ස්ථානයකිනි. ස්වර්ගයෙහි සැපවත්භාවය ගැන ද මින් කියවේ. මා එවැනි ආනන්දමත් තැනකින් මෙවැනි අවාසනාවන්ත තැනකට පැමිණියේ මා කැළඹූ ආදරය හේතුවෙනි. දැන් මෙලෙස ඔබ අමතා කතා කරන්නට මා උනන්දු කරවන්නේ ද ඒ ආදරය යි.‘ආලය උල්පත, මේ බස එහි දිය.’ පරම ආදරයේ මූලිකත්වය සිංහල වහරට හුරු වෙනත් ආකාරයකට මෙහි කියා ඇත.

-*2.බියට්‍රිස් කෘතඥතා පූර්වකව වර්ජිල්ට කියන්නේ ඇය දෙවියන් මෙන්ම සුරදූතයින්, සාන්තුවරයින්, පුන්‍යවන්තයින් ද ඇතුළු ආශීර්වාද ලද්දවුන් වෙසෙන ස්වර්ගය වෙත ගිය කල්හි ඔහුගේ ගුණ මහිමය දෙවියන් හමුවේ නිතර පවසන බව යි. ජෝන් සියාඩි පරිවර්තනය අනුවබියට්‍රිස් පවසන්නේ ඇය සුරදූතයන් අතර සිටින අවස්ථාවේ (when among Seraphim) එසේ කරන බව යි.

සම්ප්‍රදායික ක්‍රිස්තියානි සුරදූත විද්‍යාව (Angelogy) අනුව සෙරෆ් වූ කලී නව විධ සුරදූත වංශාවලියේ ඉහළ ම පැලැන්තියේ කෙනෙකු වන අතර ආලෝකය, සුගන්ධය හා පවිත්‍රත්වය පළ කරයි. සම්ප්‍රදාය අනුව සේරෆ් පියාපත් සයකින් සමන්විත ය. ඉන් දෙකක් මුහුණ දෙපැත්තේ ද, දෙකක් දෙපයේ ද ඇති අතර අනෙක් පියාපත් යුවළ පියාඹන්නට ය. සෙරෆ්වාදයට යුදෙව් හා ඊජීප්තු මූලයන් ඇති අතර දීප්තිය හා පියාසර කරන නාග රූපයක් ලෙස සේරෆ් චිත්‍ර කලාව තුළ මාතිකාගත (motif) ‍වී ඇත.සෙරෆ් සංකල්පය තුළ ග්‍රීක ඩියෝනිසස් දෙවියන්ගේ පරම උද්යෝගය හා අතිරික්ත (excess) ප්‍රමෝදය ආත්මගත වී ඇති බව පෙනේ. ක්‍රිස්තියානි චින්තක තෝමස් ඇක්වයිනස්ගේ විවරණය අනුව එම අදහස ‘ස්වේච්ඡාවෙන් ප්‍රදානය කිරීම පිළිබඳ අදහසින් නොව එහි අධික අතිරික්තය’ පිළිබඳ අදහසින් තද්භව වේ.එය දෘඪ උද්යෝගය (ardour) හා අග්නිය පිළිබඳ අදහස සමඟ බැඳී තිබෙන අතර ගින්න සතු ත්‍රිවිධ ලක්ෂණ පළ කරයි.

එනම් අඛණ්ඩ ලෙස ඉහළට (දෙවියන් වෙත) යොමු වීම, උද්යෝගී හා ආවේගී උෂ්ණත්වය හා දීප්තිමත්භාවය යන ලක්ෂණ තුන ය. මහා පුනරුදය (Rennaisance) ආරම්භයේ දී සියල්ලෙහි මිනුම්දණ්ඩ මිනිසා ලෙස පිළිගන්නා මානවාදය නැඟී එන විට ජියෝවන්නි පීකෝ මිරැන්ඩෝල චින්තකයා විසින් 1487 වසරේ පළ කරන ලද මිනිසාගේ කීර්තිය පිළිබඳ පොදු දේශනය (Oration on the Dignity of Man) නම් කෘතියේ දීසෙරෆ් ගැන අදහස මිනිසා වෙනුවෙන් පුන්‍යවන්ත වීමේ ජවාධික ලලාස ගින්නෙන් මිනිසා දැවීමේ ආකෘතිය ලෙසත්, පරම අනුප්‍රාණයේ (inspiration) ආකෘතිය ලෙසත් හඳුනා ගනියි.

මේ අතිරේක විස්තරාත්මක කාරණා මගින් පැහැදිලි කරනු ලබන්නේ ඩාන්ටේගේ කාව්‍යයේ ඇතුළත් සූක්ෂම කාව්‍ය - චින්තනය පමණක් නොවේ. දේවවාදී සංකල්පනයන් ඔස්සේ වූවත් ප්‍රබල හා විස්තීර්ණ මානවවාදී අන්තර්ගතයක් කරා එය යොමු වී ඇති ආකාරය ද ඉන් පැහැදිලි වේ.

එම කාරණා ධ්වනිත කිරීමෙන් පසු බියට්‍රිස් තම කතාව අවසන් කරයි.‘ඈ මට පැවසූ එවදන් එපමණි, ඉන් පසු නොලසව මවදන් පෑවෙමි’

-*3 - 4. බියට්‍රිස් නිහඬ වූ වහා වර්ජිල් කතා කරන අතර ‘දෙව්පුර සේසත් සිහසුන් ලැබ ගත්, රුවන් පබා සතු රුසිරින් බබළන යුවතිය ඔබ වේ මනුසත නිවසන ලෞකික පටු ලොව පරයන වස්තුව’ යනුවෙන් ද, ‘ඔබ වැනි කෙනෙකුන් නැති නම් මේ ලොව, කෙලෙස හුදී ජන නැ‍ඟෙනු ද පරදා, කුඩා ම කවය හිමි පරිමණ්ඩලයක දෙවියන් රැඳ වූ ලෞකික නෙක දේ’යනුවෙන් ද පවසයි.

මේ කියවෙන්නේ ඇය නිහඬ වූ කල්හි වර්ජිල් පැවසූ කරුණු ය. ලොව මැවුම්කරු දෙවියන් ය. දෙවියන්ගේ චේතනාව (God’s Will) අනුව කුඩා ම විශ්ව චක්‍රයේඅග්‍ර ලොවෙහි (heaven of the smallest circle) දෙවියන් විසින් තබනු ලැබ ඇති සියල්ල පරයා දුබල මානව වංශය සිය නස්සනාසුලු පරිධිය (feeble mankind within its mortle circle)තුළ පවා ඉහළ නැ‍ඟෙන්නේ දේව මාතාවන්ගේ (Lady) අග්‍ර ප්‍රේමය කරණකොට ගෙන ය. දිව්‍යමය ආදරයේ මහේශාක්‍යභාවය මෙන් ම මිනිස් ජීවිතය තුළ ආදරයේ ප්‍රමුඛ කාර්යභාරය ද මින් කියවේ.

මිනිසා දෙවියන්ගේ අනේකවිධ නිර්මාණ අතර අග්‍ර නිර්මාණය බව පැවසෙන අතර එය දේව මාතාවන්ගේ අසීමිත ආදරයට අරමුණු වී තිබෙන බව තහවුරු කෙරේ. මේ හැඟුම් දහර දේවවාදය කරා කොයි තරම් වේගයෙන් ගමන් කළත් එය ඩාන්ටේ සිය ජීවිතයෙන් ද අත්දුටු මානව ප්‍රේමයේ දැවෙන අග්නියෙන් ම උද්ගත වෙයි.

‘ඔබ වැනි කෙනෙකුන් නැති නම් මේ ලොව, කෙලෙස හුදී ජන නැ‍ඟෙනු ද පරදා, කුඩා ම කවය හිමි පරිමණ්ඩලයක දෙවියන් රැඳ වූ ලෞකික නෙක දේ’ යන පැදියේ අර්ථ පරීක්ෂාවේ දී එම රූපකාර්ථවත් ප්‍රකාශනය මධ්‍යකාලීන නක්ෂත්‍රය පදනම් කර ගෙන ඇති බව පෙනේ. මාර්ක් මූසා පරිවර්තනයේ එය කියවෙන්නේ කුඩා ම කවය අඳිනු ලබන පරිමණ්ඩලය තුළ අඩංගු සකල සියලු ලෞකික දේ’ (all worldy things contained within the sphere that makes the smallest circle) යනුවෙනි.ජෝන් සියාඩි පරිවර්තනයේ එය සඳහන් වන්නේ කුඩා ම කවය හිමි ස්වර්ගය හෙවත් දෙව්ලොව තුළ දෙවියන්ගේ අධිෂ්ඨානශීලී කැමැත්ත විසින් තබන ලද අනෙක් සියලු දේ (all other works God’s will has placed within the heaven of the smallest circle) යනුවෙනි. කුඩාම විශ්ව චක්‍රයේඅග්‍ර ලොව හෙවත් පාරාදීසය ලෙස මෙහි සඳහන් වන්නේ චන්ද්‍රයා බවත්, එය නක්ෂත්‍රීය අර්ථයකින් භාවිතා වන බවත්, එය ඇතුළු සියල්ල පෘථිවියේ චක්‍රයට ඇතුළත් බවත් ජෝන් සියාඩි පවසයි.

ඉංග්‍රීසි කිවි හෙන්රි වඩ්ස්වත් ලෝන්ෆෙලෝ පරිවර්තනයේ දී කෙළින් ම චන්ද්‍රයාගේ චක්‍රය යට ඇති මැරෙනසුලු සියල්ල (All mortal things dewelling below the circle of moon) යනුවෙන් ද, පූජ්‍ය ජේ. එෆ්. කේරි පරිවර්තනයේකුඩා ම ගෝලය හිමි ඒ දෙව්ලෝ (within that heaven that has the smallest orb) යනුවෙන් ද, ඩග්ලස් නෙෆ් පරිවර්තනයේ ස්වර්ගයෙහි හා පොළොවෙහි ද, ඒ අතරමැද ඇති සියලු තැන්වල ද ඇති සියල්ල (all things contained in heaven and earth and all places in between) යනුවෙන් ද කියවේ.

ඩාන්ටේගේ යුගයේ ටොලමිගේ නක්ෂත්‍රය භාවිතයට ගැනිණි. සියලු නක්ෂත්‍ර ගණනයන් සිදු කෙරුණේ විශ්වයේ ස්ථිර ලක්ෂය පෘථිවිය වන්නේ ය යන දැඩි පිළිගැනීම මත ය. අනෙක් සියලු ග්‍රහයින් එය වටා ගමන් කරවනු ලැබේ. ඒ අනුව පෘථිවිය ග්‍රහ පරිමණ්ඩල සතක් විසින් පිරිවරා ගනු ලැබ ඇත. ඒ සත් භ්‍රමණ චක්‍ර එකිනෙක තුළ වශයෙන් මාලාගත වී තිබේ. පෘථිවිය චන්ද්‍ර - බුධ - කිවි පරිමණ්ඩලය ද, ඒවා සූර්ය - අඟහරු - බ්‍රහස්පති - ශනි පරිමණඩල මඟින් ද පිරිවරා ගෙන ඇත. ඊට පිටතින් නිත්‍ය තාරකා මණ්ඩලය ඇත. දෙවියන්ගේ වාසස්ථානය දසවෙනි ස්වර්ගය ඒ චක්‍ර නවයට එපිටින් (පෘථිවි - චන්ද්‍ර - බුධ - කිවි - සූර්ය - අඟහරු - බ්‍රහස්පති - ශනි - නිත්‍ය තාරකා මණ්ඩලය) ඇති අතර එහි චලනයක් හෝ කාලයේ ගමනය නැත. ප්‍රමාණය අතින් එය අනන්තය වේ. කාලයෙන් එය සදාතනිකත්වය යි. නක්ෂක්‍රය මෙන්ම භූගෝලය ද ඩාන්ටේගේ මහා කාව්‍යයේ විසල් පසුතලය නිමවයි. කාව්‍ය කරුණු සියල්ලට නිර්නිත පිහිටීමක් ඇත.ඩාන්ටේ පසුපසින් මහා පුනරුද චරිතයක් ලෙස නිකොලොස් කොපර්නිකස් සූර්ය කේන්ද්‍රවාදය උදා කරමින් ‘ස්වර්ගීය පරිමණ්ඩලයන්ගේ චලිත’ (De revoltionibus orbium coelestium) ප්‍රථම වෙළුම පළ කරන තෙක් ටොලමිගේ එම පෘථිවි කේන්ද්‍රවාදය පැවතුණු අතර ඩාන්ටේ තම කාව්‍යයේ භෞතික වින්‍යාසය ඒ මත පිහිටුවී ය. කොපර්නිකස් මෙසේ ලිවී ය.

“සියලු තාරකාවන් සහ ග්‍රහයින්ගේ කේන්ද්‍රයෙහි සූර්යාට තම වාසස්ථානය හිමි ය.ඉතාමත් අලංකාර මේ දෙවොල් තුළ වෙනත් හෝ මීට වඩා හොඳ ස්ථානයක සියල්ල ක්ෂණයකින් ආලෝකමත් කරන්නට හැකි අයුරින් අපට මේ සදාතනික ගින්න රැඳවිය හැකි ද? එහෙයින් සමහරුන්ට එය ලෝකයේ ලන්තෑරුම ද, සමහරුන්ට එහි මනස ද, තවත් සමහරුන්ට එහි පාලකයා ද වීම අනූචිත නැත. ට්‍රිස්මෙගිස්ටස්ට එය දෘශ්‍යමාන දෙවියන් සහ සොපොක්ලීස්ගේ ඉලෙක්ට්‍රා, සියල්ල දකින්නා විය. මෙසේ සූර්යයා රාජකීය සිංහාසනයක අසුන් ගෙන සිටින අයුරින් තමා වටා යන එන ග්‍රහ පවුලට මඟ දක්වයි.”(Jan Adamczewski, Nicolaus Copernicus and his Epoch, Interpress Publishers, Warsaw, 1972, p. 136-7).

-*5. බියට්‍රිස් අණ කරන අයුරින් ආදරයේ උතුම් මෙහෙවර නොපමාව ඉටු කරන්නට වර්ජිල් සැදී පැහැදී සිටියි. ඔහු පෙම්වතියකගේ ලියුම රැගෙන පෙම්වතා වෙත දුවන්නට කැමැති පණිවුඩකාරයකුට වැඩිමනත් කෙනෙකි. ඔහුට සිතෙන්නේ ප්‍රමාදය ඇත්තේ තමා ඈ වෙතින් පණිවුඩය අසා ගැනීම තුළ බව ය. ඇය සිය වුවමනාව පළ කරන්නටත් පෙර ම ඔහු එය ඉටු කිරීමට මහත් සූදානමකින් පසු වේ. වර්ජිල් තුළ ඇත්තේ සිය මෙහෙවර පිළිබඳ නොතිත් ආසාවකි. එය ඩයිනෝසිස් හා සෙරෆ් පෙන්නුම් කරන්නා වූ බලවත් ආවේගයන්ට හා ලාලසාවන්ට සමාන ය.

ආදරය වෙනුවෙන් දිවි පුදා වූවත් සේවය කරන්නට ඔකඳ වුණු මනසකි, මෙවේලෙහි වර්ජිල්ට ඇත්තේ. ‘ඔබ බස අයැදුම අසා පිරේ සිත, මින් පෙර නොවේ ද කීකරු විය යුතු? ඔබ අණ නොකළ ද පමාව මා අත, ඔබ අණ කෙරුමෙන් සියල්ල විස‍ඳේ,’යැයි වර්ජිලයෝ පවසති.ඔහු ඒ මානසික නැමියාව අසීරු වචනයට නඟන්නට සමත් වන අතර වත්මන් යුගය තුළ එවැනි අවස්ථාවන් මනෝවිශ්ලේෂණය හැරුණු විට නූතන භාෂාවේදය තුළ සංග්‍රහ කිරීමට සමත් වී ඇත්තේ, ආදරයේ සියුම් නිමේෂයන් භාෂාව තුළ සලකුණු වන අවස්ථා රැසක් එකට එකතු කරන සමත් වුණු රෝලන්ඩ් බාතගේ ‘ආදරවන්තයාගේ කතිකාව’ (Lover’s Discourse) කෘතිය පමණක්ම විය හැකි ය.

-*6.කාව්‍ය ශාස්ත්‍රයේ හා බුද්ධිවේදයේ (Reason) සම්භාවනීය වියතෙකු ලෙස වර්ජිල් තර්කයේ මාර්ගයටපිවිසෙමින්, එලෙස ඇගේ පැමිණීමට හේතු වුණු කාරණාවන් දැන ගැනීමෙන් පසු ඇය මෙවැනි ගමනකට වුවමනා මහත් වූ ධෛර්ය වඩා ගත්තේ කෙසේ ද යන කාරණය විමසයි. ‘එනමුත් කිව මැන මේ දුර ගෙවනට, අගාධ අපා කට වෙත බැස එන්නට, නොබියව නොලසව අදිටන් කළ’යුරු, නැවතත් යා යුතු උත්තම තැන සිට.’

පරම රාජ්‍යයක සිට මෙවැනි බිහිසුණු ස්ථානයකට එන්නට තරම් නිර්භීත වීම වර්ජිල්ට පුදුමයක් වීමට අතිරේකව කවියකු වශයෙන් ද පිළිසිඳ දැන ගත යුතු කාව්‍යවේදී කාරණයකි. ඔහු හේතුඵල න්‍යාය අනුව කල්පනා කරයි. ඒ අනුව එම ප්‍රතිවිරුද්ධ ස්ථාන දෙක අතර වෙනස ඔහු අවධාරණය කරයි.

එය ඩාන්ටියානු භූගෝල විද්‍යාව, වියත් කේත රේඛනය සහිත භූ ලක්ෂණ සිතියම් ශාස්ත්‍රය හා කඩයිම් විස්තර ශාස්ත්‍රයට අනුව එවකට විශ්වාස කටයුතු වූ පරිකල්පිත පිහිටීම් සහිත ඉහළ සිට පහළට බැස ආ යුතු අසාමාන්‍ය පාතාල ගමනකි. එමෙන් ම එය කිසිවකු නොඑන අන්දමේ ගමනකි. මාර්ක් මූසා පරිවර්තනය අනුව ඇය පැමිණ ඇත්තේ හොඳට ඉඩකඩ තිබුණු නිවස්නයක සිට අවකාශ-විරහිත වූ නිර්-අවකාශීය ලක්ෂයක් වෙතට (journey all the way down to point of spacelessness away from your spacious home) ය.ජෝන් සියාඩි පරිවර්තනය අනුව එය ඇගේ ආනන්දයේ විසල් ලොව (so far from the wide heaven of your joy) සිට බොහෝ දුරකින් පිහිටි අගාධයක්(abyss) කරා පැමිණි ගමනකි.

-*7. කාව්‍ය ශාස්ත්‍රය සහ දිව්‍යමයභාවය අතර ඩාන්ටේ දකින සම්බන්ධතාව විශද කරමින් බියට්‍රිස් වර්ජිල්ගේ පැණය ඊට හිමි විය යුතු බැරෑරුම්භාවයෙන් යුතුව සලකා බලයි. මේ සංවාදය කවියකු හා දෙවඟනක අතර ඇති වන සංවාදයකි. කවියා දෙවඟනගේ දේවත්වයට ගරුබුහුමන් දක්වන අයුරින් බියට්‍රිස් ද කවියාගේ කවීත්වයට ගරුබුහුමන් දක්වනු අපට පෙනේ.‘ගැඹුරු අරුත් තල සෙවුනා පැණයට, පිළිතුරු සපයමි සරල බසිනි මම, නිරා මුඛය වෙත යොමු වුණු ගමනට, බිය සැක මා වෙත නොපැමිණි කාරණ.’ බැරෑරුම්භාවය අතින්මේ සංවාදය අප ස්වර්ණමාලි දෙව්දුව හා දුටුගැමුණු රජ අතර ඇති වුණු සංවාදයේ බැරෑරුම් සංකථන පදනම සිංහල පාඨකයාට සිහිපත් කර දෙයි. ස්වර්ණමාලි - බියට්‍රිස් යන දෙදෙනා ම සිය විමානවලින් බසින්නියෝ ද වෙති.

නිල්බර නිල කඳින පිට වැඩ උන්නු ලියේ

නිල්බර කොමළතින් වරලස බඳින ලියේ

නිල්බර සුරුක්කන් ගත රූබර ද ලියේ

නිල්බර තෙලඹුවෙන් බහු රත්නවල්ලියේ

(තිස්ස කාරියවසම්, ශ්‍රී ලංකාවේ දේවතාවියෝ හා යකින්නියෝ(හියු නෙවිල්කාව්‍යාවලී ආශ්‍රයෙනි), පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග්‍රහයෙන් මුද්‍රිත, 1992, පිටුව 78)

‘නිරා මුඛය වෙත යොමු වුණු ගමනක් හෙවත් හොඳට ඉඩකඩ තිබුණු නිවස්නයක සිට අවකාශ-විරහිත වූ නිර්-අවකාශීය ලක්ෂයක් වෙතට හෝ ආනන්දයේ විසල් ලොවක සිට දුර ගෙවා බියකරු අගාධයක් වෙත පැමිණීමක අර්ථ දෝංකාරයක් ‘ගිනිජල් කුමාරිගේ කවිය’ නම් ජනකවියේ ඇත.

ගිනිජල් ඇති රට වද බින්තැන් නා

තනියම ආවේ ඇයි තොපි දෙන්නා

සොරබොර වැව මැද මීමා ඉන්නා

ගිනිජල් කුමරිය වැඩියා ඔන්නා

(තිස්ස කාරියවසම්, ශ්‍රී ලංකාවේ දේවතාවියෝ හා යකින්නියෝ(හියු නෙවිල්කාව්‍යාවලී ආශ්‍රයෙනි), පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග්‍රහයෙන් මුද්‍රිත, 1992, පිටුව 74)

-*8.බියට්‍රිස් සපයන පිළිතුර වර්ජිල්ගේ කුතුහලය විසින් ඉල්ලා සිටින ලද්දක් වැනි ය. හිංසාවක් හානියක් කළ හැකි දේකට විනා එසේ නොකරන දෙයකට බිය වන්නේ මන්දැයි දේවාල අඩවියක ප්‍රලය වුණු බැතිමතියක මෙන් දිව්‍ය බලශක්තියකින් අනූනව අසන අතරේ ඇය කවියාගේ තත්ත්වය ගැන ද විමසිලිමත් වුණු බව ජෝන් සියාඩි පරිවර්තනයෙන් පැහැදිලි වේ.

ඇය වර්ජිල් අමතන්නේ සොක්‍රටීසියානු ශෛලියකිනි. ‘දනුව! පොරොත්තුව බලා සිටින්නා වූ සහ කරුණාවන්ත වූ ආත්මයාණෝ! යනුවෙනි (Know then, O waiting and compassionate soul). ‘කරුණා ගුණ පිරි ප්‍රේත ආත්මය මෙහි සදාතනිකව බලා සිටිනා, හිංසා හානිය කළ හැකි නම් මිස අප අන් යමකට බිය වෙනු කුමට ද?’ යනුවෙන් මෙය සිංහල පරිවර්තනයෙහි කියවේ.

මෙහි ‘බලා සිටින්නා වූ’ (waiting) යන යෙදුම වර්ජිල්ගේ ලිම්බෝ වාසය හඟවන අතර එය සදාතනික බලා සිටීමකි. එලෙස බලා ගෙන, බලා ගෙන, බලා ගෙන සිටීමේ හා අරමුණක් ඉටු නොවීමේ හෝ අරමුණක් කියා දෙයක් නොපැවතීමේ පැවැත්ම සියවස් ගණනාවකට පසු ද අප වෙසෙන යුගයේ ප්‍රතිනිර්මාණය වන අයුරු සැමුවෙල් බෙකට්ගේ ‘ගොඩෝ එනකං’ (Waiting for Godot) නාට්‍යයෙන් ද, අද උත්ප්‍රාසයකින් හෝ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරය නාට්‍ය වේදිකාව බවට පත් වුණු අයුරින්, ගැලවුමක් නැති හා අවශ්‍යතා ඉටු නොවන ශ්‍රී ලාංකික අපගේ වර්තමාන බලා සිටීමෙන් පැහැදිලි වේ.

Dante and Beatrice

වර්ජිල්ගේ අනුප්‍රාප්තිකයින් වූ වැල්දිමීර් හා ඊස්ට්‍රජන් මෙන් අපි ගාලුමුවදොර සිට ඈත මුහුදේ නැව් එන තුරු බලා සිටිමු. සමහර නැව් නොපැමිණෙයි. එනයින් අද බියට්‍රිස් අප ද අමතයි. ‘කරුණා ගුණ පිරි ප්‍රේත ආත්මය! මෙහි සදාතනිකව බලා සිටිනා.’

-*9.ඇය වර්ජිල් අමතා කියන්නේ සදාතනික විමුක්තියේ ආනන්දය අත්විඳින තමාට නැවත අපා බියක් නොදැනෙන බව ය. ‘උත්තම දෙවි රද මට දුන් ගුණ තෙද, පිරිපත නොතකන සවි බල මා සතු, නුඹ අත්විඳිනා දුක්කඳ මට නැත, දනුව අපා ගිනි නොදැනෙයි මා හට.’

-*10.බියට්‍රිස් ‘අපා කට’ වෙත එවා ඇත්තේ මහා කාරුණික දේව මාතාවන් ය. ඇය ස්වර්ග වැසි දෙවියන්ගේ ආශීර්වාදය හෙවත් වරම් ලබා ගත් දේව යාතිකාවන්ගේ (prayers of Blessed Mother-Compassion) බලමහිමය හා අනුහස රැගෙන පැමිණ ඇත. ඇය ප්‍රලය වූ හෝ ආවේශිත හෝ ස්ත්‍රියක වැනි ය.

මෙහි හැඟවෙන වර්ජිල්ගේ අදහස අනුව ක්‍රිස්තියානි චින්තනය කුළ කරුණාව, දයාව, මෛත්‍රිය හා සමාව හැඟවුම් කරන කන්‍යා මරියාවෝ වන්දනාකාරයාගේ අනතුරුදායක හා දුෂ්කර තත්ත්වය දෙස මහත් අනුකම්පාවෙන් බලා තිබෙන අතර දිව්‍යමය සහනය හා දෙව් වරම ලබා දීමේ ක්‍රියාන්විතය වෙනුවෙන් මුලපුරා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. එහි දී ඩාන්ටේ කෙරෙහි වූ ඇයගේ අනුකම්පාව කොයි තරම් ද යත් සුර ලොව දැඩි නියමයන් පවා නොතකා හැර තිබේ (Her compassion breaks the Heaven’s stern decree).

වර්තමාන යථාර්ථවාදී හා මනෝවිද්‍යාත්මක ආඛ්‍යාන සන්දර්භය තුළ මින් හැඟවෙන්නේ ඩාන්ටේ සිය ජීවිතයේ දුෂ්කර මොහොතක දී අත්විඳින ලද අනාථ අසරණකම හා ආත්මානුකම්පාව විය හැකි ය. තම ජීවිතයේ හා ක්‍රියාවන්ගේ පවිත්‍ර නිරවද්‍යතාව පිළිබඳ විශ්වාසයක් ද මින් පළ වේ. ඔහු වෙනුවෙන් ස්වර්ග සේනා පවා කරුණාව පා ඇති අතර ස්වර්ග නියමයන් වෙනස්කොට ඔහුගේ උදව්වට හා ආරක්ෂාවට ඉදිරිපත් වී සිටියි.

තවද ඩාන්ටේ මේ බව දැන ගන්නේ තවත් කවියකු මාර්ගයෙන් වීම වැදගත් කාරණයකි. කාව්‍යය තුළ දේවත්වයේ යාන්ත්‍රණය පණ ගැන්වීමක් හෙවත් ‘වැඩ කිරීමක්’ මෙහි ඇත. ‘මොක්පුර වැජඹෙන සුර මව් මාතා දුක් විය ඔහු හට වූ දේ දැකුමෙන්, ඈ සතු කරුණා මහිමය මතු විය දෙව් පුර සිරිතට පටහැනි අයුරින්’*10

-*11.‘ඇය වහා කැඳවා සාන්ත ලුසියා පැවසී තම බස මහ කරුණාවෙන්, මරු කට වෙත වැටි ඔබ විශ්වාසී, සුදසුන් මිනිසා පවරමි ඔබ වෙත.’ සාන්ත ලුසියාගේ සංකේතිකත්වය දිව්‍යාලෝකය යි (Divine Light). භාග්‍යවන්ත කන්‍යා මරියා (Blessed Virgin Mary) විසින් ඩාන්ටේ වෙත ලබා දෙන දිව්‍යමය අනුග්‍රහය, ශාන්තිය හා දෙවි වරම සාන්ත ලුසියාගෙන් රූපකාර්ථවත් වේ. එය සිංහල කාව්‍යයේ දී දියෙන් කිරි වෙන් කරන සුදු හංසයා මඟින් පවිත්‍රතාව රූපකාර්ථවත් කිරීමට සමාන ය.

ආගමික ප්‍රපංචවාදය තුළ දී ඒ දෙව් වරමින් තොරව ඩාන්ටේට ගැලවුමක් නැත. එය නොලැබේ නම් ඔහුගේ ශෝකජනක ඉරණම වන්නේ අන්ධකාර වනයේ අතරමං වීම හා අමු තිරිසනුන්ට ගොදුරු වීම යි. මරියා මෙන් ම ලුසියා හා බියට්‍රිස් ද පාපී ජීවිතය නොව ඊට ප්‍රතිපක්ෂ ගුණයහපත් ජීවිතය රූපකාර්ථවත් කරයි. මාර්ක් මූසා ඒ කාරණය මෙසේ පැහැදිලි කරයි.

“ආලෝකය යන තේරුම ඇති සාන්ත ලුසියා මඟින් භාග්‍යවන්ත කන්‍ය මරියා (Blessed Virgin) විසින් කැඳවුම් කරන ලද දිව්‍ය ප්‍රභාශ්වර ශීල ශාන්තිය(illuminating Grace) හැඟවුම් කරනු ලබයි. එය නොලැබේ නම් වන්දනාකරුවා (ඩාන්ටේ) අතරමං වී විනාශ වේ. බියට්‍රිස්ගේ නාම‍ය මඟින් අකලංක ස්වර්ග සම්පත්තිය ලද බව, ආශීර්වාද ලත් බව හා වරම් ලත් බව (Blessedness) මෙන්ම ගැලවීම හෙවත් විමුක්තිය (Salvation) ද හඟවනු ලබන අතර ඇය වර්ජිල් ඉදිරියේ පෙනී සිටින්නේ දේව කැමැත්ත හෙවත් දිව්‍යමය අභිලාෂය (Will of God) ප්‍රදානය කිරීමේ පරම සංග්‍රාහකයා (ultimate bestower) වූ දෙවියන්ගේ කැමැත්ත ඔහුට පවසා අනාවරණය කිරීමට ය. සුර ලලනාවෝ (heavenly ladies) තිදෙනා ‘දිව්‍යමය ප්‍රහසනය’ (Divine Comedy) කාව්‍යයේ පළමුවෙනි සර්ගයේ කියවෙන මෘගයින් තිදෙනා සමඟ සමබර වෙති. ඒ මෘගයින් විසින් මිනිසාගේ පාපයන් නියෝජනය කරනු ලබන අතර ලලනාවෝ දේව කරුණාව ඔස්සේ මිනිසා පාපයෙන් මිදීම නියෝජනය කරත්. ඒ අනුව වන්දනාකාරයාගේ ගමන භාග්‍යාවන්ත කන්‍යා මරියා (Blesed Virgin Mary) විසින් ඔහුට දයානුකම්පාව පෑම ඔස්සේ ස්වර්ගයෙන් හෙවත් පාරාදීසයෙන් (Paradise) ඇරඹෙන අතර කාව්‍යයේ සමස්ත ක්‍රියාව තනි තේරුමෙන් ගත් කල්හි එක ම චක්‍රයක් ලෙස (a circle) එතැනින් ආරම්භ වී, අවසාන සර්ගයේ වන්දනාකරුවාට දෙවියන් දර්ශනය වීම සිදු වන ස්වර්ගයෙන් අවසන් වේ(ultimately end in Heaven with Pilgrim’s vision of God in the closing canto).”(Dante, The Divine Comedy, Volume 1,Inferno, translated by Mark Musa, Penguin, 2003, p.85-6).

සුර ලඳුන් තිදෙනා පිළිබඳ සංකේතකරණය සිංහල සාහිත්‍ය රසිකයා විසින් සිංහල කවි සමයේ දෙවඟනන් ලෙස කියවෙන පත්තිනි, ස්වර්ණමාලි, හෙණකඳ බිසෝ, ගුත්තිල සුර ලියන් හා සක් දෙවිඳු වැනි දේව චරිත ඔස්සේ රසාස්වාදනය කළ මනා ය. අසුරයින්ගේ කීර්තිය මැඩ තම කීර්තිය පෙන්නුවා වූ දෙවියන්ගේ හිස, පතුල් නමැති නෙළුම් මලින් සැරසූ සක් සුරිඳු ගැනත්, වෙණ නද අසනු කැමතිව පැමිණි දෙව් ලියන් ගැනත් අප ගුත්තිලය මෙසේ ගයයි.

සුර රුපු යස පැහැස

පෙන්නූ තමා යස රැස

සුර ඉසුරෙන් සිරස

සරණ තඹරින් සැරූ සහසැස

තෙලෙ සුරඟනෝ යැද

ඇදුර තොපගේ වෙණ නද

කිවුය ඇසියටි සඳ

එයින් ගෙන්වූයෙමි මෙ තොප අද

-*12.කාව්‍යයේ මේ කොටස තුළ ශීඝ්‍රයෙන් දිග හැරෙන ස්වර්ග ජවනිකාවේ (heavenly scene) තවත් කාන්තා චරිතයක් සිටියි. ඇය පුරාණ ගිවිසුමේ (Old Testament) කල්පනාවේ නිමග්නව සිටින අවලෝකනාත්මක කාන්තා රත්නයක් වූ පුරාතන රාකෙල් (ancient Rachel) ය. ඇය මිනිස් සමාජයේ ශාරිරිකජීවිතය නොව මනස මුල්කොට ගත් භාවනාශීලී කල්පනාව සහිත ජීවිතය (contemplative life) පිළිබඳ සුන්දර පුරාණෝක්ති රූපයකි. මේ කාව්‍යයේ දී ඒ බව ඩාන්ටේ මෙන්ම පාඨක අප ද දැන ගන්නේ වර්ජිල් විසින් බියට්‍රිස් වෙතින් අසන ලද පරිද්දෙනි. ‘කුරිරුකමට එරෙහිව අවි ඔසවන, ලුසියා ආවේ ඉගිලී මා වෙත, ඒ මොහොතේ මා සිටියේ සිත්බර රාකෙල් නම් සුර පුරාතනිය ළඟ.’

ලුසියා ගැන සාහිත්‍යයේ කියවෙන්නේ කෲරත්වය‍ට එරෙහිව සටන් වැදුණු කෲරත්වයේ සැතිරියක (enemy of cruelty) ලෙසිනි. මේ විවරණයේ පූර්විකාවේ සඳහන් කළ පරිදි ඇය කෲරත්වයට යටත් වුණේ නැති අතර බලහත්කාර විවාහපේක්ෂකයාගේ කෲර වුවමනාව පරිදි සෙබළුන්ට සිය දෙඇස උගුලා ගන්නට ඉඩ හැරියා ය.

මේ මහා කාව්‍යය අනුව දේව මාතාවන් විසින් ඇය කැඳවනු ලබන්නේ ඩාන්ටේ ද මෘගයින්ගේ කෲරත්වයට ගොදුරු වීමට ආසන්නව සිටින බැවිනි. ලුසියා හිට්ලර්ගේ සමූලඝාතන කඳවුරක සිටි යුදෙව් ස්ත්‍රියක මෙන් කෲරත්වයේ භීෂණය හොඳින් දන්නා කෙනෙකි. දේව මාතාව විසින් ඩාන්ටේ භාර දෙනු ලබන්නේ ඒ අත්දැකීම ඇති ඇයට ය.

-*13.බියට්‍රිස් ඒ දෙව්ලෝ කැලඹීමේ විස්තරය වර්ජිල්ට කියයි. ජොන් සියාඩි පරිවර්තනයට අනුව දේව මාතාව ඩාන්ටේ ගැන ලුසියාට සඳහන් කරන්නේ ඇගේ හිතෛෂී පුද්ගලයකු ලෙසිනි. ආගමික දර්ශනය තුළ ලබ්ධික, ශ්‍රද්ධාවන්ත යන අර්ථයඒ වෙනුවෙන් භාවිතා කරන වචනවල (Thy faithful one) ඇත. මේ ඩාන්ටේ තමා ගැන ද සිතන හැටි ය. ඔහු පාප් රාජ්‍ය ඉදිරියේ අරගලකරුවකු හා පිටුවහල් කිරීමට ලක්වූවකු වන නමුත් තමා ගැන නිවැරදි තක්සේරුවක් දෙව්ලොව දෙවියන් විසින් සිදු කරනු ඇති බව විශ්වාස කරයි. තවද ඩාන්ටේගේ ‘හිතෛෂී සද්භාවය’ අවධාරණය කිරීමේ දී ඔහු හා ලුසියා යන දෙදෙනාගේ ම පොදු ඉරණමේ සමානතාව ද සැලකිල්ලට ගන්නට ඇත. පීඩිතයා පීඩිතයාට හිතවත් වේ.

ලුසියා වහාබියට්‍රිස් කරා පැමිණෙයි. බියට්‍රිස් ඒ බව වර්ජිල්ට කියයි. ‘ඇය මට පැවසී ලෙන්ගතු මෙවදන්, සුර පැසසුම් ලද මහරු බියට්‍රිස්, සරණ නොවන්නෙද නොලසව දිව ගොස් ඔබ වෙත පෙම් බැඳි සුහදාණන් හට.’

-*14.කාන්තාවන් දෙදෙනා විසින් ම ඉටු කරනු ලබන්නේ ඩාන්ටේ වෙනුවෙන් ශෝකයෙන් භරිත වුණු දේව මාතාවගේ මහත් වුවමනාව යි. ඒ අනුව බියට්‍රිස්ගේ ඉක්මන් මැදහත්වීම ලුසියා ඉල්ලා සිටින්නේ විශේෂ කාරණයක් ගෙනහැර පාමිනි. ‘පිටුපා දුර්ජන නොසැබි සමාජය ඔහු පෙම් කැකුලින් පිදුවේ ඔබ හද.’

ඇය කියන්නේ බියට්‍රිස් වෙනුවෙන් පිදූ ආදරයේ දී ඩාන්ටේ ග්‍රාම්‍ය සමාජය මුළුමනින් අත්හැර දමන ලද බව යි. අසහාය ආලයේ දිව්‍යමය ස්වභාවය නිසා ඔහුට ග්‍රාම්‍ය සමාජය එපා විය. දිව්‍යමය ආලය (Divine Love) හා ලෞකික ආලය (Profane Love) අතර වෙනස හඳුනා ගැනීමක් ද මෙහි ඇත. මෙය මහා පුනරුදු චිත්‍ර කලාවේ (Rennaisance Art) ද නිරූපණය වූ සෞන්දර්යයන් ද්විත්වයකි.

ඩාන්ටේගේ ප්‍රේමය සතුව තිබුණු ඒ මහරු දිව්‍ය ගුණය වටහා ගෙන ඔහුට උදව් වන ලෙස ලුසියා බියට්‍රිස්ට පවසයි.

‘නොඇසෙද සරණක් අයදින ඔහු හඬ, මරුවා ඇවිදින් ඉල්ලයි ඔහු පණ.’අනතුරට මුහුණ පා සිටින ඩාන්ටේගේ සාන්දෘෂ්ටික තත්ත්වය අවධාරණය කරමින් ජෝන් සියාඩි පරිවර්තනය මෙසේ කියයි. ‘සවන නොකළෙ ද ඔබ ඔහුගේ වැලපුම? මරුවා සමඟින් ඔහු මහ සටනක.’(Dost thou not hear his cries? Canst thou not see the death he wrestles).

ඩාන්ටේගේ මේ ඛේදවාචක තත්ත්වය ෆ්රාන්ස් කෆ්කාගේ ‘නඩුකරය’ (The Trial) නවකථාවේ ‘කේ’ (K) චරිතයේ ඛේදවාචකය සමඟ සසඳන කල්හි කේ චරිතය තමා නොදන්නා චෝදනාවක් මත බල්ලෙකු මෙන් මරා දමන විට මෙවැනි දෙව්ලෝප්‍රතිචාරයක් නැති වීම, එදා අද ලෝක ධර්මයේ පැහැදිලි වෙනස පෙන්වා දෙයි.

ඩාන්ටේ ‘කේ’ මෙන් මරණයට ලක් නොවන නමුත් ඔහුට ද පණපිටින් අපාය දකින්නට සිදු වේ. ඒ අනුව මරණය හෝ අපාය දැකීම යන දෙකෙන් එකක් තොරා ගත හැකි අවස්ථාවක් ඩාන්ටේ - කෆ්කා තුලනය මඟින් අපට ලැබේ. එය අද අප ලාංකික ජීවිතයේ සාන්දෘෂ්ටික තත්ත්වයට ඉතා සමීප ය.

-*15. ඔහු මරණය සමඟ පොරබදන්නේ ගඟක් අසල නම් වියරු ප්‍රචණ්ඩත්වය අතින් එය පැරදවිය හැකි මුහුදක් නැත.

‘ඔහුගේ භීතිය රුදුරු ගඟක් නම්

ලොව නැත සයුරක් ඒ ගඟ පරයන,

ඒ සැඬ ගඟ ළඟ ගැලවුම හිමි නැති,

නංවන දුක් නද නොඇසෙ ද යුවතිය?’

මේ පැදිය පිළිබඳව මාර්ක් මූසා අභිධාර්මික විවරණයක් ඉදිරිපත් කරයි.

ඒ අනුව මෙහි නදියට ඇත්තේ ද පළමුවෙනි සර්ගයේ වනයට හා මාර්ගයට තිබුණු යථාර්ථයට සමාන තත්ත්වයක් වන අතර ‘වනය - පාර - නදිය’ යන තුන ම අපගේ ජීවිතයේ අදියර තුනකට අයිති වන අතර ඒවායේ පැවැත්මේ ඇත්තේ කාලයට අදාළ වූ පැවැත්මක් විනා අවකාශයට අදාළ වූ පැවැත්මක් නොවේ. සාගරයට ගඟ පැරදිය නොහැක්කේ එබැවිනි. මේ ගඟ සෑම මනුෂ්‍යයකු තුළින් ම ගලා බසියි. එය ජය ගත හැකි මුහුදක් කොහි ද?

-*16.තමා සහ ලුසියා අතර සිදු වුණු වාක් ගනුදෙනුව බියට්‍රිස් විස්තර කරයි. ලුසියා පැවසූ දෙය තමා උන්මාදයට පත් කළ බවත්, ඒ බස ඇසීමෙන් තමා මෙහි එන ආශාවෙන් තරයේ වෙළී ගිය බවත්ඇය වර්ජිල්ට පවසයි. ඇය මෙලොව මනුෂ්‍යයකුගේ තත්ත්වයටත් වැඩි තණ්හාධික තත්ත්වයකට පත් වී ඇත.

‘ලුසියා බස මා සවනට අමයුරු,

මනු ලොව වුව නැත මා වැනි ලොබ පිරි

සිය තුට සොයමින් නොදැමිව හැසිරෙන

අන් කෙනකුන් තව ඔහු වෙත දිව යන.’

ජොන් සියාඩි පරිවර්තනයේ ඇය ලුසියා ගැන සඳහන් කරන්නේ ‘මා මිහිරි ලුසියා’ (my sweet Lucia) යනුවෙනි.

-*17.තමාට ඉවසුම් නැති වුණේ ස්වර්ගයෙන් හා එහි තමා සතු අසුනින් බැස එන්නටත්, උත්තරීතර භාෂා කෞශල්‍යයකින් හෙබි වර්ජිල් කවියා ගැන විශ්වාසය තබන්නටත් බව ඇය කියයි. ‘ඉවසුම් නැති විය සුර අසුනින් බැස, ඇවිදින් අදහන තෙක් ඔබ සුමියුරු උත්තම කවි බස දනන් වසඟ කළ, පමණ නොකළැකි විශ්වාසය එය.’

ඔබගේ අදහස් අපට එවන්න.