දිව්‍යමය ප්‍රහසනය වෙළුම 1:
අපාය තුන්වෙනි සර්ගය දිව්‍යමය ප්‍රහසනය ( පැදි XI–XVII )
2022 ජූලි 25
සුළියක් වී වට කැරකෙන භීතිය
මැද වෙවුලන මම ඇදුරිඳු විමසමි,
දෙසවන් පාරන හඬ කවරක් දෝ?
ඒ සා සෝකෙන් හඬණේ කවුදෝ?*1
ඔහු දුන් විදුමිණි පිළිතුර මෙය විය,
“දැඩිතර සෝකෙන් හඬා වැටෙන්නෝ,
ඇනුම බැනුම හා පැසසුම යන දෙක
නැති බොල් දිවියක් ගත කළ උන් වෙත්.”*2
“බල උන් මුසු වන අනිටු විලාසය
මහ දෙවියන් හට ඇල්ම නොදක්වා,
රැහැණි වෙමින් අවගුණ ද නොපෙන්වා,
අතීරණය මැද සිටිය සුරන් හා.”*3
“රැක ගනු වස් සිය නිසඟ සොඳුරුකම
සුර ලොව උන් සැම පලවා හැරියත්
නිරය ද තම ඉඩ නොම දෙයි උන් හට,
එවිට අපා දන නම්බුව සුන් වේ.”*4
ඇදුරිඳු කිම උන් වැලපෙනු මේසා
එතරම් දරුණු දඉවසිය නොහැකි ද
පැනවුණු දණ්ඩන? බෙහෙවින් කෙටියෙන්
පිළිතුරු ලද්දෙමි අතැඹුල නුවණින්.*5
“මියයන සැපවත් හිමි නැති තරමට
නීචය, නිහින ය, අබබ්බ මේ කැල,
උන් සැම ගත කළ නොම සරු දිවියට
අන් දණ්ඩනයක් වධයක් හිමි නැත.”*6
“උන් මෙහි සිටි බව පවසන ලකුණක්
නොතැබේ ලෝ මත, ඒ උන් කරුමය,
සුර ලෝ යුක්තිය කරුණා මෙත් ගුණ
නොලබන උන් ගැන කුමන කතා දෝ.”*7
අපායේ දොරටුව කරා පැමිණෙන වර්ජිල් සහ ඩාන්ටේ අපායේ ආලින්දයට (Vestibule of Hell) පිවිසෙන්නට සූදානම් වෙති. එය අපායේ වාස්තු විද්‍යාව (Architecture of Hell) අනුව ප්‍රවේශ ශාලාවට ළඟින් ම ඇති දොරටුව හෙවත් වාහල්කඩ ය. එහි ද දුක් විඳින්නෝ සිටිති. ඔවුන්ගේ විලාප ඩාන්ටේට ඇසෙයි. මෙය හුදෙක් අපාය පිළිබඳ ශ්‍රව්‍ය අත්දැකීමකි (acoustical impression). ඒ සා කෑමෝර දෙන තරමට ඔවුන් අත්විඳින දඬුවම කුමක් දැයි ඩාන්ටේ කුතුහලයෙන් විමසයි.
එනයින් අපායේ දර්ශන මහත් රාශිය සියැසින් දකින්නට මොහොතකට පෙර ඩාන්ටේට අපායේ සමස්ත බිහිසුණුකම පිළිබඳ උපස්ථිතියක් හෙවත් ධාරණාවක් (impression) ඇති වේ. එනමුත් මෙය අපාය නොව අපායට යන කිර්මිය පටන් ගන්නා දොරකඩ යි. එහි දුක් විඳිමින් සිටින්නේ විශේෂ පිරිසක් වූවත්, උන් කතා කිරීමටවත් නොවටිනා සහ උන් ජීවත් වුණු මහ පොළොවේ නමක්වත් ඉතිරි නොකළ පිරිසක් බව පැහැදිලි කරන වර්ජිල් ඩාන්ටේ අපාය වෙත කැඳවා ගෙන යයි.
ඒ පිරිස මෙලොව ජීවත් වී සිටිය දී පුන්‍යවන්ත දෙයක් නොකළා මෙන්ම චෝදනා ලැබිය යුතු ගර්හිත වරදක් කළේ ද නැත. ඔවුන් අතරේ සුරදූතයින් ලෙස (angles) සුර ලොව සිටි කණ්ඩායමක් ද සිටිති. පුරාණෝක්තිය අනුව ඒ ලුසිෆර් (Lucifer), සුරදූත නායක ලුසිෆර් (ArchangelLucifer), සාතන් (Satan) යන නම්වලින් හඳුන්වනු ලබන අපාය නායක චරිතය, තම අනුගාමික සුරදූතයින් සමඟ මොක්පුරෙහි දී දෙවියන්ට එරෙහිව කැරැලි ගසන විට දෙපැත්තෙන් එක පැත්තක්වත් නොගත් අවස්ථාවාදී සුරදූතයින් පිරිස ය.
දෙවියන්ගේ පැත්ත හෝ සාතන්ගේ පැත්ත හෝ නොගෙන සිටි ඒ සුරදූතයින් සමඟ මුසු වෙමින් සිටින්නේ මළවුන්ගේ ආත්ම රාශියකි. ඔවුන් මෙලොව ජීවත් වුණු සමයේ කිසිදු ස්ථාවරයක්, ආස්ථානයක් නොගෙන සිටි පිරිස ය. අවස්ථාවාදීන් ලෙස දිවි ගත කළ ඒ පිරිස ගැන මතකයක් පවා මහ පොළොවේ මිනිස් සමාජය ඉතිරි කර නොගනියි. නම ගම සඳහන් කරන්නටවත් නොවටිනා ඒ පිරිස අපායේ ප්‍රවේශ ගර්භයේ සදාකාලිකව නිර්නාමිකව සිටිති. සුර පුරය විසින් ඔවුන් ශාපලත්තවුන් (damned souls) ලෙස හෙළාදැක ප්‍රතික්ෂේප කර තිබෙන අතර අපාය විසින් ද ඔවුන් භාර ගන්නේ නැත.
ඩාන්ටේ මධ්‍යකාලීනයකු ලෙස තම කාව්‍යයේ දී එකී යක්ෂ නායකයාගේ ප්‍රයත්නය පිළිබඳව මධ්‍යකාලීන මතයෙහි පිහිටා සිටින නමුත්ශේක්ෂ්පියර්ගෙන් පසුව බිහි වුණු වැදගත් ම ඉංග්‍රීසි කවියා සහ ඉංග්‍රීසි පුනරුදයේ අවසන් කවියා ලෙස සැලකෙන ජෝන් මිල්ටන්(1625-1660) විසින් ලුසිෆර් හෙවත් සාතන් සිය ‘පැරඩයිස් ලොස්ට්’ (Paradise Lost) මහා කාව්‍යයේ ප්‍රධාන චරිතයක් බවට පත් කර ගත් අතර මධ්‍යකාලීන අදහසට පිටුපාමින් කිසියම් සටන්කාමී රොමෑන්ටික වීරත්වයක (Romantic hero) පිහිටුවී ය.
නූතනවාදය (Modernism) තුළ ද ලුසිෆර් චරිතය ප්‍රොබ්ලමැටික වීරයා, ක්‍රම විරෝධියා, අසම්මතවාදියා, පිටස්තරයා, දේශපාලන අරගලකරුවා හා පෙරටුගාමියා පිළිබඳ පූර්වාදර්ශයක් ලෙස සැලකිණ. ජේම්ස් ජොයිස් ද ඒ චරිතයේ අකීකරුකම හා දෙවියන්ගේ අණසකට පිටුපාමින් විනාශයට ගමන් කිරීමේ ඉරණම තම ලේඛන දිවියට සාමාන්තර අතීතයක් ලෙස දුටුවේ ය.
ලුසිෆර් යන්නෙහි ‘ප්‍රතිවාදියා’ (adversary) යන අර්ථය ඇති අතර ස්වකීය අධික අහංකාරය (primary sin of pride) නම් පාපී හැඟුම නිසා දෙවියන්ට එරෙහිව යුදකොට දෙවියන් බලයෙන් පහකොට දමා සිහසුන පැහැර ගන්නට තම සුරදූත බලය යෙදවී ය. සිංහල සාහිත්‍යයෙහි මාර, දේවදත්ත, නාලාගිරි හා මූසිල චරිත තුළ ද එවැනි ප්‍රතිවාදයක් සටහන් වී ඇත.
දේවදත්ත ද අහංකාරයෙන් මෙසේ උදම් අනයි. ‘උගතිමි මම මගෙන, කුමන ගුරු දැයි කියයි මුණිඳුන.’ ඔහුගේ ප්‍රතිවාදී සිතුවිල්ල මෙසේ කාව්‍යයට නැඟෙයි. ‘මැරුව මුනි මහතා, බුදු බව ලැබෙයි නියතා, කර අනුවණ සිතා, ඇරැවි නාලාගිරි මදැතා.’ මූසිල සංගීතඥයා තමා ද සංගීත හැකියාවෙන් තම ආචාර්යවරයාට සම බව කියමින් සමාන වැටුප් ඉල්ලයි.
ඩාන්ටේ කියන්නේ ලුසිෆර් දෙවියන්ට අභියෝග කරමින් සටනට එළඹුණු අවස්ථාවේ දී පැත්තක් නොගත් සුරදූතයින් සුර ලොවට මෙන්ම අපායට ද වද්දා නොගන්නා නිසා ඔවුන් අපායේ ප්‍රවේශ ශාලාවේ සිටින අතර ඔවුන් සමඟ මුසු වෙමින් කුසල අකුසල දෙක ම නොසලකා ස්වාර්ථය පමණක් හඹා ගිය මිනිසුන්ගේ ආත්මයන් ද එහි සිටින බව යි.අපායේ දොරටුවෙන් ඇතුළුව අපායේ ආලින්දයට පිවිසුණු බැව් පවසන විටත්, එය අපායේ දොරටුව ළඟ ප්‍රවේශ ශාලාව හෙවත් වාහල්කඩ ලෙස සැලකිය හැකි නිසාත්, අපාය ගර්භයෙහි ඝෝෂාව එතැනට කන වැකෙන බව කියන විටත් ‘දිව්‍යමය ප්‍රහසනය’ කාව්‍යය තුළට වාස්තු විද්‍යා අනුභූතිය ඇතුළු වේ.
අපාය පිළිබඳ තම ගූඪ ගුප්තයට (mystery of hell) හා පාරභෞතික සිතුවිල්ලට ගෘහ නිර්මාණාත්මක සැකැස්මක් ලබා දෙන විට ඩාන්ටේගේ ගුප්තමය ද්‍රව්‍යවාදය (mytical materialism) මතු වී පෙනෙයි. ගොඩනැගිලි ඉදි කිරීමේ නිර්මාණ තාක්ෂණය ඔස්සේ ඇති වුණු මධ්‍යකාලීන මහදෙව් මැදුරු වාස්තු විද්‍යාව (Medieval cathedral architecture) හා නොබෝ කලකින් නැඟී එන්නට නියමිත වූ මහා පුනරුද දෙව් මැදුරු වාස්තු විද්‍යාව (Renaissancecathedral architecture)හා නගර සැලසුම්කරණය (urban planning) එම අවකාශ හැඟීමට පාදක වේ. අපාය ද වාස්තු විද්‍යාත්මක වශයෙන් ඉදි කළ (architecturally built) ස්ථානයක් බව ය ඉන් කියවෙන්නේ. එහි වාස්තු විද්‍යාඥයා දෙවියන් වන අතර එතුමන් ඒ ඒ ශාප ලද්දවුන් වෙනුවෙන් ඒ ඒ අවකාශ තනා ඇත. එනයින් ඩාන්ටේගේ කාව්‍යය තුළ දී ‘ශාප ලද්දෝ’ නිත්‍ය පදිංචියේ සින්නක්කර ඔප්පු ලබති. ඔවුහු වර්තමාන කුලුනු පන්නයේ අගනාගරික තට්ටු නිවාසයක (condominium)පදිංචිකරුවන්ට සමාන වෙති.
අපාය එලෙස ඉදි කරන ලද දේව නිර්මාණයක් වන නමුත් එය ගොඩනැගිල්ලක් නොව අහස පොළොව සහිත භූමිදර්ශනයක් ඇති සැරිසැරුම් පෙදෙසකි (territory). ඉදිරියේ දී කියවෙන පරිදි ඊට ඇත්තේ කෙමෙන් කුඩා වන වටයන් (circles) සහිත සෙල්ලම් බමරයක හැඩයකි. එහි ළඟා වීමට තව දුර යා යුතු ය. ඩාන්ටේගේ අපායේ සැලසුම ගෘහනිර්මාණයේ සහ සිතියම් විද්‍යාවේ සංකලනයක් ලෙස සැලකිය හැකි එකකි. වන්දනාකරුවා යන්නට උත්සාහ කළ කඳු ශිඛරයට සාපේක්ෂව මෙය දොරටුවකින් ඇතුළු වී, ප්‍රවේශ ශාලාවක් පසුකොට යා යුතු යක්ෂ ප්‍රාන්තයකි.
God expels Satan and his team
දෙව් මැදුරු වාස්තු විද්‍යාව සහ ඩාන්ටේගේ අපායේ සැකැස්ම අතර සම්බන්ධය හුදු සමානකම ඉක්මවන වැදගත්කමකින් යුතු ය. පුරාණ යුරෝපීය දේවස්ථාන හෙවත් පල්ලි මහජන වාස්තු විද්‍යා නිපැයුම් ලෙස පැවතුණු බවත්, එය ඒවා එලිසබෙත් යුගයේ උදාවත් සමඟ මහජනයාගෙන් ඈත් වුණු බවත්වික්ටෝරියානු ගෘහ නිර්මාණ පිළිබඳ මහත් උනන්දුවක් දැක් වූ ප්‍රමුඛ නූතන ඉංග්‍රීසි කිවියකු වූ ජෝන් බෙට්ජමින් පවසයි.
“ගම්බද ප්‍රධාන ප්‍රභූ ඉඩම් හිමියාගේ (squire) පවුලේ පුද්ගලික බූදල් පල්ලිය (private chapel) ඔහු අසුන් ගන්නා ‘පුද්ගලික ආසනය’ විය. පසුගිය ශතවර්ෂයේ දී ඒවා විකුණා දැමූ විට ‘ප්‍රතිසංස්කරණය කරන්නා’ (restorer) එය සුද්ද කර දැමූ අතර අස්වනු නෙළන කාලයට හෝ ‘විශ්‍රාමික බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගේ පුන්‍ය සේවාව’ (British Legion Service) වෙනුවෙන් පමණක් මිනිසුන්ගෙන් පිරෙන, අවුල් සහගත ලෙස එහා මෙහා කර තිබෙන පරණ දිග අසුන් සහිත නොගැලපෙන තැනක් බවට පත් විය.” (John Betjeman, First and Last Loves, Century Hutchinson Ltd in association with National Trust Classic, 1987, p.90-1).
එම වාස්තුප්‍රිය ඉංග්‍රීසි කවියා දකින පැරණි දෙව් මැදුරේ වඩාත් ඉපැරණි නිදර්ශනය වූ මධ්‍යකාලීන දෙව් මැදුරේ ස්වභාවය හා වැඩවසම් මහජන අවකාශය පැහැදිලි කරමින් කෙනත් හඩ්සන් සිය ‘දෙව් මැදුරු ගවේෂණ’ කෘතියේ දී මෙසේ පැහැදිලි කරන්නේ ඩාන්ටේගේ ලෝකය වෙත අප තවත් සමීප කරමිනි.
“සෑම තේරුමකින් ම මධ්‍යකාලීන මහා පල්ලිය හෙවත් ‘කැතීඩ්‍රලය’ මිනිසා සහ දෙවියන් මුණගැසෙන ස්ථානය වූ අතර මානව පැවැත්මේ ඉතා ම නීරස මෙන්ම ඉතා ම ආධ්‍යාත්මික පැති ද කිසිදු නොගැලපීමකින් හා ගරුසරු නැති කමකින් තොරව එකට එකතු කරන්නට ඒ ගොඩනැගිල්ලට හැකි විය. දත් කැක්කුමෙන් පෙළෙන මිනිසාගේ ගල් කැටයම, උත්කෘෂ්ට ක්‍රිස්තුතුමාගේ ප්‍රතිමාව තරම් යෝග්‍ය වුණු අතර දෙවියන්ගේ ලෝක නිර්මාණය පෙන්වන කලාත්මක උන්නතයට (relief) පියවර කිහිපයක් එපිටින් බයිබල් පුවත අනුව ඩිලයිලා විසින් සැම්සන්ගේ හිසකේ කපා දමන දැව ආසන කැටයම (misericord showing Delilah cutting off the hair of Samson) දකින්නට පුළුවන් විය. පැගනික පුරාණෝක්ති, සම්භාව්‍ය ජන ආඛ්‍යාන, බයිබල් කථා සහ සිද්ධි මෙන්ම මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතය ද මහා පල්ලි, පල්ලි හා ආරාම අලංකාර කරන්නා වූ රූප නෙළන්නන්ට හා චිත්‍ර ශිල්පීන්ට තේමා මාතෘකා සපයා දුන්නේ ය.”(Kenneth Hudson, Exploring Cathedrals, Teach Yourself Books, 1978, p. 48).
සේනක බණ්ඩාරනායක හා ගාමිණී ජයසිංහ පොළොන්නරුවේ තිවංක පිළිම ගෙය හා වාස්තු විද්‍යා ආකෘතියේ උත්කෘෂ්ටභාවය මෙසේ පැහැදිලි කරයි.
John Milton's description of Satan
“චිත්‍ර අඳින අවකාශයේ සැලැස්ම හා සංවිධානය, තේමාවන් තෝරා ගැනීම, සංරචනා ශිල්පවිධි, මිනිස් රූපය ග්‍රහණය කර ගන්නා ආකාරය මෙන්ම කාලානුක්‍රමය සහ ශෛලීන්ගේ විවිධත්වය වැනි කාරණා අතින් ද ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය සම්බන්ධයෙන් තිවංක බිතු සිතුවම් තරම් ආලෝකයක් සපයන වෙනත් චිත්‍ර නැත. වාස්තු විද්‍යාත්මකව ‘තිවංක විහාරය’ අභ්‍යන්තරික වශයෙන් අන්තර්-සම්බන්ධතාවෙන් යුතු පැහැදිලි අවකාශ පහකින් සමන්විත වී තිබෙන අතර ඒවා චිත්‍රවලින් ශෝභමාන ය. ඒ පංච අවකාශ වන්නේ ද්වාර මණ්ඩපය හෙවත් ප්‍රවේශ ශාලාව (porch or entrance hall), කිර්මිය (vestibule), පැති ප්‍රවිෂ්ටය(side entrance), අන්තරාලය හෙවත් පිටකාමරය (antarala orantechamber) සහ ප්‍රධාන ධාතු ගර්භය හෙවත් පූජස්ථානය (sanctum) යි.”(SenakaBandaranayake and GaminiJayasinghe, The Rock and Wall Paintings of Sri Lanka, Lake House bookshop, 1986, p. 80).
ඩාන්ටේගේ ලෝක විෂය හා ස්ව-විඥානය ලෙස මතු වන අපායේ වාස්තු විද්‍යාව මධ්‍යකාලීන ව්‍යවහාරික හා ලලිත කලා විඥානය සමඟ බැඳී තිබෙන අතර ඔහු තම ‘අපාය’ කාව්‍යයේ දී මධ්‍යකාලීන දෙව් මැදුර එහි අන්තර්-සම්බන්ධිත ප්‍රතිපාර්ශවය දක්වා රූපවිපර්යාස කරමින් පැහැදිලිව වෙන් වී පෙනෙන විවිධ අවකාශ රැසක් සජීවී පාරභෞතික වදන් චිත්‍රවලින් ශෝභමාන කරයි. ඒ අවකාශයන් එකිනෙක ඉදිරියේ දී ඩාන්ටේගේ ගමන් මඟ අනුව මතු වේ. චිත්‍ර ශිල්පියා බිතු සිතුවමක අඳින යථා ලෝකය සහ පාරභෞතික ලෝකය ඩාන්ටේ කවියා තම කාව්‍යය තුළ රූපමය වියමනක් බවට පත් කරයි. බිතු සිතුවමේ අපායෙන් බැස ආ මිනිස්සු හෝ නැවත බිතු සිතුවමට නඟින මිනිස්සු ඔහුගේ ආකර්ෂණීය සාහිත්‍ය අපායේ විද්‍යමාන වෙති.
ඔහුගේ දිව්‍යමය ප්‍රහසනයේ ප්‍රධාන චරිතය ලෙස මැවෙන වන්දනාකරුවා ඔඩිසියස් හෝ එනියස් වැනි මහා වීර චරිතයක් බව කිව නොහැකි අතර ඒ හේතුව නිසා මෙය වීර කාව්‍යයක් ද නොවේ. ඩාන්ටේට එය ප්‍රහසනයකි. විස්තරාත්මකව කියත හොත් පාරභෞතික ප්‍රහසනයකි.
එනමුත් ඩාන්ටේගේ වන්දනාකාරයා තම බිය සැක හා සැලුම් වෙවුලුම් මැද්දේ බිහිසුණු අපාය දැකීමේ දුෂ්කර හා වේදනාකාරී ගමනට පෙළඹෙයි. මේ චරිතයේ හා කාව්‍යයේ සුවිශේෂිත කලාත්මක අනන්‍යතාව රඳා තිබෙන්නේ ඒ කාරණයෙහි ය. වධයට භාජනය වූවන් දකින්නට කැමති වීමේ විපරීත ආශාව අත්විඳින වන්දනාකාරයා අද සිනමා තිරයේ බියකරු දේ දකින්නට කැමති සිනමා ප්‍රේක්ෂකයකුට සමාන වේ. මේ අතින් ඩාන්ටේගේ වන්දනාකරුවා අපායේ වැටුණවුන් වෙත හෙළන බද්ධ බැල්ම (gaze) සිනමා ප්‍රේක්ෂකයා තිරය වෙත හෙළන බද්ධ බැල්මට සමාන ය. තවද වර්ජිල්ගේ මඟ පෙන්වීමේ භූමිකාව සිනමාකරුවාට හා සිනමා විචාරකයාට සමාන ය.
-*1.මේ කවි කිහිපයෙන් කියවෙන්නේ අපායේ වාහල්කඩ ආසන්නයේ පුවත් වන අතර වර්ජිල් සහ ඩාන්ටේ අපායට යමින් ආලින්දය පසු කරති. ඩාන්ටේ බියෙන් සැලෙමින් තම ආචාර්යවරයා අමතයි. ඒ ඇමතුම වෙනුවෙන් ඔහු ඉතාලි බසින් පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි ‘මාස්ටර්’ අර්ථය හෝ ඊට වැඩි යමක් ඇති ‘මයෙස්ට්‍රෝ’ (maestro) යන වචනය යි.
අන්ධකාරයේ මහත් ඝෝෂා සහිත අපා කුණාටුව හමා යයි. එය සුළි සුළඟකි. වට කැරකෙන භීතිය (circling terror) මැද ඒ බියකරු ඝෝෂාව කුමක් දැයි, ශෝකයෙන් පීඩිතව හඬන්නේ කවර ආත්මයන් දැයි ඩාන්ටේ කුතුහලයෙන් විමසයි. ඒ ඝෝෂාවේ අඩංගු වේදනා විලාපයන්ගේ සංයුතිය දැනටමත් දන්නා බැවින් ඩාන්ටේට අලුතින් දැන දැන ගැනීමට වුවමනා වී තිබෙන්නේ ඒ විලාප කාගේ ද යන්න ය.‘සුළියක් වී වට කැරකෙන භීතිය මැද වෙවුලන මම ඇදුරිඳු විමසමි, දෙසවන් පාරන හඬ කවරක් දෝ? ඒ සා සෝකෙන් හඬණේ කවුදෝ?’
ඩාන්ටේ තුළ මෙවැනි මිනිස් ප්‍රතික්‍රියා ඇති වන්නේ ඔහු මියගිය පවුකාරයකු (dead sinner) හෝ වර්ජිල් වැනි හේමාල පේතයකු (a shade)නොවන නිසා ය. ඔහු ජීවමාන වන්දනාකරුවෙකි. මෙහි දී ඩාන්ටේ නම් කවියා සහ ඩාන්ටේ නම් වන්දනාකාරයා අතර වෙනසක් ඇති වන අතර කවියකු ලෙස අපාය සම්බන්ධයෙන් අවබෝධ කර ගෙන තිබෙන දේවල් වන්දනාකරුවකු ලෙස ඔහුට තවමත් අබෝධ කර ගත නොහැකි ය. මේ නිසා මෙහි ඩාන්ටේ නම් වන්දනාකාරයා ඩාන්ටේ නම් කවියාට වඩා අවිදග්ධ හා සරලමතික ය (naive).
පුරාණෝක්ති සාහිත්‍ය ඉතිහාසය තුළ නොමැරී සිටිය දී අපායට යන්නට හැකි වූ මුල් තැනැත්තා ඩාන්ටේ නොවන බව සිහිපත් කළ මනා ය. ග්‍රීක හා රෝම යටි ලොවට (Underworld) හෙවත් ‘හේඩ්ස්’ නම් පාතාල ලෝකයට (Hades) ගියවුන් අතර තීසියුස් (Theseus),හර්කියුලිස් (Hercules), ඔඩිසියස් හෙවත් යුලිස්ස් (Odysseus), ඕපියස් (Orpheus), සයිකි (Psyche),ඒනියස් (Aeneas) ආදීහු සිටිති.
හර්කියුලිස් විසින් බේරා ගනු ලබන තුරු තීසියුස් අපායේ අත්අඩංගුවේ සිටි අතර ඔහු ‘අමතක වීමේ ආසනය’ (chair of forgetfulness) මත රඳවා තිබුණි. හර්කියුලිස් තම වීර වික්‍රමයන් වෙනුවෙන් එහි ගිය අතර අපායේ සිටි ඔලු තුනේ බල්ලා මෙලොවට සොරා ගෙන එන්නට සමත් විය. ට්‍රෝජන් යුද්ධය නිමා වී නොයෙකුත් බාධක මැද ආපසු ගෙදර යන්නට පුළුවන් වේ දැයි දැන ගන්නට ඔඩිසියස් එහි ගියේ ය. ඒනියස් සිය පියා හමු වෙන්නට එහි ගියේ ය.
මනු ලොව අග්‍රගන්‍ය සංගීතකාරයා වූ ඕපියස්ගේ මනාලිය විවාහ දිනයේ දී සර්පයකු දෂ්ටකොට මියගිය ශෝකයෙන් වෙවුලා තම වැයුමෙන් මුළු ලොව හා දෙව් ලොව අඬවන්නට පටන් ගත් නිසා ඇය ආපසු කැඳවා ගෙන එන්නට දෙවිවරු ඔහුට අවසර දුන්හ. ඔහු එහි ගොස් ඇය ආපසු කැඳවා ගෙන එන අතරේ ඇගේ අඩි ශබ්දය අනුව ඇය සැබැවින් පැමිණෙන්නේ දැයි තහවුරු කර ගන්නට ආපසු හැරී බැලූ විට ඔහු දෙවියන්ගේ පොරොන්දු කොන්දේසිය කඩ කළ නිසා ඇය අතුරුදහන් වූවා ය.
ඩාන්ටේ ද කවියකු වන නිසා මේ සාහිත්‍ය සවිඥානය උරුම කර ගන්නා නමුත් වන්දනාකාරයාට මේ උරුමය නැත. එනයින් තමා තුළ වෙසෙන වන්දනාකාරයා දෙස දුරස්ථව බලන්නට ඩාන්ටේ සමත් වේ. කාව්‍යයේ තුන්වෙනි සර්ගයේ දී අපට හඳුනා ගන්නට ලැබෙන මේ කාරණය ඩාන්ටේ අපායේ දොරටුවේ ලියා තිබුණු වගන්ති කියවන අවස්ථාවේ සිට ම මතු වේ. ඔහු අපාය දොරේ ලියා තිබෙන වගන්ති කියවා වර්ජිල්ට පවසන්නේ ඒ වගන්ති ඉතා කෲර හා දරුණු බව ය. දෙවියන් යුක්තිගරුක බවත්, අපාය යුක්තිගරුක දණ්ඩන ස්ථානයක් බවත් කියවන්නා මෙන්ම ඩාන්ටේ ද දන්නා නමුත් වන්දනාකාරයා නොදන්නේ ඔහුගේ සරලමතික බව නිසා ය.
-*2. පැණයට පිළිතුරු දෙමින් වර්ජිල් අසරණ වන්දනාකාරයාගේ කුතුහලය සන්සිඳුවයි. එය ඩාන්ටේට අලුත් දැනුමක් සපයයි. වර්ජිල්ගේ පිළිතුර මෙසේ ය. ‘දැඩිතර සෝකෙන් හඬා වැටෙන්නෝ, ඇනුම බැනුම හා පැසසුම යන දෙක නැති බොල් දිවියක් ගත කළ උන් වෙත්.’
වර්ජිල් සහ ඩාන්ටේ තවමත් නියම අපායට ප්‍රවිෂ්ට වී නැති අතර ඔවුන් නැවතී සිටින්නේ වාහල්දොරකඩ ය. ප්‍රවේශ ශාලාව හෝ ආලින්දය (Vestibule) වූ කලී දොර සහ ශාලා අභ්‍යන්තරය අතර ඇති කොටස ය. එය මෙහි වාස්තු විද්‍යාව අනුව අපායේ පළමුවෙනි වටයට හෝ කවයට (First Circle ofHell) පෙර හමු වේ. එනමුත් ඩාන්ටේගේ බියපත් මනෝභාවයෙන් පෙනෙන්නේ සැබෑ අපායට පෙර කොටසේ පවා දැඩි දඬුවම් දීම සිදු වන බව ය. අපායේ වාහල්කඩ පසු කරන්නට පෙර ම දඩුවම් දීමේ මහා නාටකය ඇරඹෙයි. එහි දුක් විඳිමින් සිටින පිරිසට මොක් පුරය, නිරය යන දෙක ම සදාතනිකව ම අහිමි ය. සුර පුරයේ දෘෂ්ටිකෝණයෙන් බලන විට ඔවුන් නිසා එහි සොඳුරුතාව හා සිරියාව බිඳෙයි. අපායේ දෘෂ්ටිකෝණයෙන් බලන විට අපායට වැටුණවුන්ට කිසියම් ගෞරවයක් ඇත් නම් ඊට පවා ඔවුන් කැළැලකි.
මින් පෙනෙන්නේ අපායේ සිටින්නන්ට ද ගෞරවයක් ඇති බවකි. තමන් දැනුවත් ම වැරදි ආස්ථානයක් (sinful stand) තෝරා ගැනීමේ ගරුත්වය ඔවුන්ට හිමි ය. සාතන් හෙවත් ලුසිෆර් පවා මේ කීර්තිය අත්විඳියි. කීර්තිය තුළ යහපත් කීර්තිය ද, අයහපත් කීර්තිය ද යන දෙක ම ඇති අතර කීර්තියට නිමිති වූ කාරණා වෙනස් වූවත් අපකීර්තිය අත්විඳින්නා ද ඒ නිසා ම කිසියම් ගර්වයක් භුක්ති විඳියි.
අපායට වද්දා නොගෙන, එහි ප්‍රවිෂ්ටයේ දුක් විඳින මනුෂ්‍ය කොට්ඨාශය ‘අවස්ථාවාදීන්’ (Opportunists) බවජෝන් සියාඩි ද පවසයි. ඔවුන් ස්වච්ඡන්දතාව (freewill) පාවිච්චි කළේ පැත්තක් නොගෙන සිටින්නට ය.
එනමුත් මෙහි දී පැත්තක් ගැනීම ප්‍රතික්ෂේප කිරීම හුදු තනි මූලධර්මයකට ලඝු නොකළ යුත්තේ ඒ පැත්ත හා මේ පැත්ත වශයෙන් ‘යුගල ප්‍රතිපක්ෂ’ (binaryoppositions) නිර්මාණය කිරීම ආධානග්‍රහිත්වයේ (dogmatism) සිට වර්ගවාදය, මූලධර්මවාදය හා ෆැසිස්ට්වාදය දක්වා වූ අකාරුණික හා අන්තවාදී අරමුණු පෙරදැරිව සිදු කළ හැකි බැවිනි. විශේෂයෙන් සංස්කෘතික යුද්ධ සිදු වන්නේ එලෙසකළු සුදු වශයෙන් දෙපැත්ත, ප්‍රතිවාද හා ප්‍රතිපක්ෂ යනාදිය අවස්ථාවාදීව නිර්මාණය කිරීමෙනි.
The Fall of Man by Michel Angelo
ජනතාවාදය තුළ ද ‘විදග්ධ සංස්කෘතිය හා නිර්ධන සංස්කෘතිය’ ලෙස මෙවැනි ප්‍රතිපක්ෂයන් ගොඩනැගිය හැකි අතර ස්ටැලින්වාදය, චීන සංස්කෘතික විප්ලවය හා පොල්පොට්වාදය තුළ සිදු වුණු සංස්කෘතික පාපයන් මීට නිදසුන් වේ. එහෙයින් වැරදි ප්‍රතිපක්ෂ ඉදිරියේ ආස්ථානයක් නොගැනීම යුක්තිගරුක විය හැකි නිසා ‘අවස්ථාවාදය හෝ පැත්තක් නොගැනීම’ පිළිබඳ ඩාන්ටේගේ විවරණය ඔහුගේ සමස්ත පාප මාලාව තුළ හඳුනා ගත යුතු අතර ප්‍රතිපක්ෂ නිර්මාණය ද ඒ සමස්ත පාපකර්ම පද්ධතිය තුළින් තේරුම් ගත යුතු ය.
-*3.හෙන්රි ලෝංෆෙලෝ පරිවර්තනයේ යට කී සුරදූත පිරිස හඳුන්වන්නේ ‘බියගුලු සුරදූත පර්ෂදය’ (caitiff choir of angles) යනුවෙනි. කැරැලිකරුවන් ද, දේව හිතෛෂීන් ද නොවූ ඔවුහු ස්වාර්ථය වෙනුවෙන් පමණක් කටයුතු කරන්නෝ වූහ. ‘බල උන් මුසු වන අනිටු විලාසය, මහ දෙවියන් හට ඇල්ම නොදක්වා, රැහැණි වෙමින් අවගුණ ද නොපෙන්වා, අතීරණය මැද සිටිය සුරන් හා.’ මින් කියවෙන්නේ අවස්ථාවාදී සුරදූතයන් හා අවස්ථාවාදී මනුෂ්‍යයින් එකට සංකලනය වන බව ය.
-*4.ස්වර්ගය හෙවත් සුරලොව විසින් ඒ ආත්මාර්ථකාමී හා පුද්ගලවාදී පිරිස පන්නා දමා ඇති අතර අගාධඅපාය ද ඔවුන්ට ඇතුළු වීමට ඉඩ නොදෙයි. අපාගත වූවන්ට පවා ඔවුන්ගෙන් අත්වන්නේ අපකීර්තියක් පමණි. ‘රැක ගනු වස් සිය නිසඟ සොඳුරුකම, දෙව් ලොව උන් සැම පලවා හැරියත්, නිරය ද තම ඉඩ නොම දෙයි උන් හට, එවිට අපා දන නම්බුව සුන් වේ.’
-*5.ඒතරම් කටුක ලෙස වැලපෙන්නට තරම්ඔවුන් ලබන දඬුවම කුමක් දැයි ඩාන්ටේ විමසයි. තමා ඊට කෙටි පිළිතුරක් ලබා දෙන බව වර්ජිල් කියයි. ‘ඇදුරිඳු කිම උන් වැලපෙනු මේසා, එතරම් දරුණු දඉවසිය නොහැකි ද පැනවුණු දණ්ඩන? බෙහෙවින් කෙටියෙන් පිළිතුරු ලද්දෙමි අතැඹුල නුවණින්.’
-*6.වර්ජිල් පැහැදිලිකොට කියන්නේ ඔවුන්ට සැබෑ මරණයකට පවා බලාපොරොත්තුවක් (no hope of truly dying) හිමි නැති බව ය.ලෝංෆෙලෝ පරිවර්තනය අනුව ඔවුන්ට ‘තව දුරටත් කිසිම ආකාරයක මරණයක බලාපොරොත්තුවක්නැත.’ (no longer any hope of death). දැන් විඳින දඬුවම විනා අන් ආකාරයක ඉරණමක් ඔවුන්ට අනූචිත ය. ‘මියයන සැපවත් හිමි නැති තරමට නීචය, නිහින ය, අබබ්බ මේ කැල, උන් සැම ගත කළ නොම සරු දිවියට අන් දණ්ඩනයක් වධයක් හිමි නැත.”
-*7. ඔවුන් මෙසේ සිටින බවවත් ලෝකය විසින් ලේඛනගත කර ගනු ලබන්නේ නැත. ඔවුන්ට සුර ලොවේ කරුණාව සහ යුක්තිය ලැබෙන්නේ ද නැත. ලෝංෆෙලෝ පරිවර්තනය අනුව ලෝකය ඔවුන් ගැන යශෝරාවයකට අවසර නොදේ. ඔවුන්ගේ ඉරණම ගැන වැඩිදුර කතා කිරීම ද නිෂ්ඵල බව වර්ජිල් ඩාන්ටේට කියයි. ඔහුගේ උපදෙස මෙසේ ය. ‘බලව! හැර යව! (look and pass).
කවර පාපයක් හේතුකොට ගෙන හෝ අපාගත වූවන්ගේ පොදු ඉරණම වන්නේ ඔවුන්ට ක්‍රිස්තියානි දේවධාර්මික වත්පිළිවෙත් හා ශික්ෂා ප්‍රකාරව ‘පසුතැවෙන්නට’ (repent) අවස්ථාව අහිමි වී තිබීම යි. කළ පව් ගැන පසුතැවී වැමෑරීමෙන් පව්කාරයකුට මෙලොවේ දී ‘දේව සමාව’ ලබා තම පව් බරින් නිදහස් විය හැකි අතර දෙවියන් විසින් මිනිසා වෙත ලබා දෙන ලද ඒ වරප්‍රසාදය අපාගත වූවන්ට නොලැබේ. ඔවුන් අත්හැර දැමූවන් (the forsaken), වැටුණවුන් (the fallen) වන්නේ මේ පාරභෞතික අර්ථයෙනි.
Morality and hell
සුර ලොවේ කරුණාව සහ එහි යුක්ති ධර්මය පවා ඔවුන්ට පිටුපාන බව වර්ජිල් පවසයි (Heaven’s mercy and its justice turn from them). එහෙයින් උන් ගැන කරන සාකච්ඡා නිෂ්ඵල ය. උන් දෙස බලමින් යනවාට වැඩි දෙයක් කළ යුතු නැත. ‘උන් මෙහි සිටි බව පවසන ලකුණක් නොතැබේ ලෝ මත, ඒ උන් කරුමය, සුර ලෝ යුක්තිය කරුණා මෙත් ගුණ නොලබන උන් ගැන කුමන කතා දෝ.’
ඩාන්ටේගේ කාව්‍යයට පාදක වන විශ්වාස පද්ධතිය අනුව එලෙස අපායේ වැටී විවිධාකාරයට දුක් විඳින්නේ හුදෙක් පාපයන් ලෙස ශිෂ්ට සමාජය විසින් හඳුනා ගනු ලබන ක්‍රියාවන් නිසා පමණක් නොවේ. ඔවුන් අපායට වැටී සිටින්නන් මෙලොව ජීවත්වෙද්දී තම සිහිබුද්ධිය නිසි ලෙස භාවිත නොකළ නිසා ය.
හොඳ සහ නරක යන දෙක වෙන් කර ගත හැකි සිහිබුද්ධියක් ඇත්තේ මිනිසාට පමණි. සතුන්ට ඒ හැකියාව නැත. තව බල්ලෙකුගේ ආහාර උදුරා ගෙන කෑම හෝ මිනිසකු හපා කෑම ගැන බල්ලෙකුට වරදකාරී හැඟීමක් (guilt) ඇති වන්නේ නැත්තේ එබැවිනි. එනමුත් මිනිසා පාප ක්‍රියාවක නිරත වෙන්නේ හොඳ සහ නරක පිළිබඳව තමා සතු අසහාය තුලනාත්මක හැකියාව නොතකා නරකය වැලඳ ගැනීමෙනි.
එහෙයින් ඩාන්ටේගේ පව්කාරයින් තුළ දාර්ශනිකව තේරුම් කළ යුතු සූක්ෂ්ම දැනුම් කලාපයක් ඇත. පව්කාරයා වූ කලී තමන්ගේ ස්වච්ඡන්දතාවය (Freewill) අනුව නරක ක්‍රියාව තොරා ගත් මිනිසෙකි. ඩාන්ටේගේ චින්තනය තුළ ස්වච්ඡන්දතාවය මුල් තැනක් ගන්නා අතර බයිබල් පුරාණෝක්තිය අනුව මිනිසා එම බුද්ධිය ලබා ගන්නේ ‘මුල් මිනිසා සහ ගැහැනිය’(Adam and Eve) නාග වේෂයෙන් පැමිණි සාතන්ගේ අනුදැනුම පිට ‘දැනුම් ගසේ ඇපලය’ අනුභව කිරීමෙනි. දැනුම් ගසේ පලතුර කෑම සඳහා නාගයා කරන යෝජනාවට මුලින් වසඟ වන්නේ ස්ත්‍රිය යි. ඒ දැනුම හොඳ සහ නරක ගැන දැනුම වන අතර මේ ගස ‘කුශාලාකුශල වෘක්ෂය’ හෙවත් ‘හොඳ නරක නැණ රුක’ (Tree of Knowledge of Good and Evil) ලෙස පුරාණෝක්තියේ දැක්වේ.
එලෙස දෙවියන් තහනම්කොට තිබුණු දැනුම් ගසේ දැනුම් ඵලය කෑ දවසේ සිට මිනිසාට හොඳ නරක ගැන දැනුම ලැබුණු නිසා මිනිසා එම දැනුම පාවිච්චි කරමින් මෙලොව දුෂ්කර දිවියක් ගෙවිය යුතු ය. එම හැකියාව නොතකා වැරදි ක්‍රියා කළවුන් පසුව ඒ ගැන පසුතැවුණු (repent) හොත් ඒ වරදට සමාවක් ලබා ගත හැකි වීම දෙවියන් විසින් පෘතග්ජන මනුෂ්‍යයාට ලබා දෙන ලද වරමකි (Divine grace). ඒ අනුව දැන් අපායට වැටී සදාතනික දුකෙහි ගැලී සිටින්නේ හොඳ සහ නරක ගැන දැනුමපාවිච්චි කරමින් වරද කළා මදිවාට ඒ ගැන නොපසුතැවී මියගියවුන් ය.
ඉන් පැහැදිලි වන්නේ ‘පාපය’ හා ‘පව්කාරයා’ පිළිබඳව ඩාන්ටේගේ කාව්‍යයේ පවත්නා ගැඹුරු අර්ථය අද දූෂණ, වංචා, අපරාධ පිළිබඳව හෙළිදරව් කරන පුවත්පත්, ගුවන්විදුලි හා රූපවාහිනී සේවාවන්ගේ සද්භාව විචාර විද්‍යාව සහ අර්ථ විවරණ විද්‍යාව (Ontology and Hermeneutics) ඉක්මවා යන බව ය. එනමුත් පාපය පිළිබඳ ඩාන්ටේගේ කාව්‍ය හා දාර්ශනික අර්ථය, එවැනි පාපයන් නොබියව හෙළිදරව් කරන්නා වූ පුවත්පත් ඇතුළු ජනසංනිවේදන මාධ්‍යයන්ගේ අර්ථ සීමාව කිසිසේත් නිෂේධනය නොකරයි. ඒ වෙනුවට ඒවාට අතිරික්ත දාර්ශනික සහායක් ලබා දෙයි. එහෙයින් ඩාන්ටේ දූෂණ, වංචා, අපරාධ පිළිබඳව හෙළිදරව් කරන නිර්භය ජනසංනිවේදකයාගේ කවියා හා චින්තකයා වේ.
ඩාන්ටේ විසින් අපාය තුළ සලකුණු කරන පාප මාලාවට වර්තමාන නීතිය ඉදිරියේ අපරාධ ගණයට නොවැටෙන ක්‍රියා ද ඇතුළත් වන අතර ඔහුගේ පාදකය වන්නේ නීතිය නොව නිවැරදි සමාජ හා දේශපාලන ජීවිතය යි. යහපත් ස්වච්ඡන්දතාව හා පසුතැවීම ඩාන්ටේගේ නොසැලෙන ආචාර ධර්මතාව වන අතර පාපය නොපිළිගැනීමේ අහංකාරය හෝ පාපය කළාට පසු තමා එවේලේ හරි වැරැද්ද නොදැන සිටි බව පැවසීම හෝ කිසියම් වරදක් කිරීම ලොව සිරිත බව පැවසීම හෝ තමාට මුක්තිය (immunity) ඇති බව පැවසීම හෝ කළ වරදේ තරම අමතක බව පැවසීම හෝ ඩාන්ටියානු ආචාර විද්‍යාවට සපුරා පටහැනි ය.