සුද්දීගේ සහ නෝරාගේ නික්ම යෑම: “එයා දැන් බැඳලා”
ගැන තවදුරටත්...

2023 මාර්තු 10

ප්‍රසන්න ජයකොඩිගේ “එයා දැන් බැඳලා” ටෙලි නාටකය අවසාන එපිසෝඩයේ දී සුද්දී තම දරුවා සමග බසයක නැගී ගම අතහැර යද්දී දුරකථනය හරහා ශ්‍රව්‍ය පණිවුඩයක් ලෙස පහත සඳහන් අවසන් තීරණය සිරි වෙත යවන්නී ය.ශ්‍රව්‍ය පණිවුඩයක් යැවීමේ අදහසින් ම ගම්‍ය වන්නේ මේ ප්‍රශ්නය ගැන ඇය සිරි සමග කුමන ආකාරයේ හෝ සංවාදයකට සූදානම් නැති බව යි.

“මං ජීවිතේ හැමදාම බැටකෑවෙ ගැහැනියක් හන්දා සිරී. මගෙ දරුවත් කෙල්ලෙක්. මං තීරණය කළා, මට වද දීපු මිනිස්සු අස්සෙ කවදාවත් මං මගේ දරුව හදන්නෙ නෑ කියලා...”

 

1879 තරම් ඈත කාලයක රංගගත කරන ලද හෙන්රික් ඉබිසන්ගේ “සෙල්ලම් ගෙය” (Doll’s House) නාට්‍යයේ අවසානයේ නෝරා සිය සැමියා වන හෙල්මට මෙසේ කියන්නී ය.

 

“අපි දෙන්නට සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුඑවන් වුණා නම් ඔබෙයි මගෙයි විවාහ ජීවිතය ඉතාම ආශ්චර්යවත් වෙන්න තිබුණා, ඒත් මං තවදුරටත් එවැනි ආශ්චර්යයන් සිදුවෙනව කියල විශ්වාස කරන්නේ නෑ”

 

(මෙම වියමනෙහි මූලික ප්‍රස්තූතය වන්නේ නෝරා ගැන ද සුද්දී ගැන ද යන්න පාඪකයාට කුකුසක් ඇතිවිය හැකි ය. එම කුකුස මඟ හරවා ගැනීමට ගත හැකි ප්‍රවේශය වන්නේ නෝරා ගැන කියවන විට සුද්දී ගැනත් සුද්දි ගැන කියවන විට නෝරා ගැනත් සිතීමයි. සමස්තයක් ලෙස පීඩිත සමාජ ස්ථරයන් නියෝජනය කරන සියලු සමාජ සහ ලිංගික දිසානතීන් සහිත ජනයා ගැන සිතීමයි.

එමෙන් ම මෙම විචාරය එපිසෝස 27 වන සම්පූර්ණ ටෙලි නාට්‍යයේ සමස්ථාර්ය පිළිබඳ මෙම විමසුමක් නොවේ. එසේ සිතුවහොත් ප්‍රසන්නගේ මෙම සාධනීය නිර්මාණ වෑයමට අසාධාරණයක් සිදුවේ. මෙය නාට්‍යය සමාප්ත වන ආකාරය පිළිබඳ කෙටි ආපසු හැරී බැලීමක් පමණි).

නෝරා එසේ කියා බොහෝ කාලයක් හෙල්ම සමග තමා ජීවත් වූ නිවසෙහි දොර වසාගෙන පිටවන්නී ය.හෙල්මට අවසන් වරට ඇසෙන්නේ ඒ වැසූ දොරෙහි දෝංකාරය යි. 

පසුකාලීනව මෙම නාට්‍යය පිළිබඳ කතිකාව තුළ ඉතා ජනප්‍රිය ලෙස රූපකාර්ථයෙන් කියවුණු අදහසක් වන්නේ තම සැමියා අතහැර යන ගමනෙහි දී නෝරා විසින් වැසූ දොරෙහි ශබ්දය මුඑ යුරෝපය පුරා ම දෝංකාර දුන් බව යි.

 

තවත් විචාරකයෙකු පැවසුවේ තදින් වැසූ දොරෙහි හඬ මුඑ මිහිතල පියෙස සිසාරා ගිගුම් අුන් බව යි.

 

පසුකාලීන ව මෙම නාට්‍යයේ න්‍යෂ්ටික පවුල තුල පවතින සිමාවන් පුපුරාගෙන අවදි වූ නෝරා නම් ගැහැනිය විසින් ගත් ඉතා රැඩිකල් තීරණයක් ලෙස අර්ථකථනය වි ය. නිසැකව ඉතා පුඑල් අර්ථයෙන් ගත් කල සෙල්ලම් ගෙය අදටත් ශ්‍රේෂ්ඨ කලා නිර්මාණයකි.

චීන ලේඛක ලු ශුන් (Lu Xun) ඔහුගේ What happens after Nora walks out නැමැති දේශනය තුළ නෝරාගේ නික්ම යාම සලකන්නේ ඉතා සර්ව අශුභවාදී ආකරයට ය. විචාරකයන් පවසන පරිදි ලු ශුන් මෙම “අශීලාචාර” ප්‍රශ්නය අසා ඔහු ම එයට පිළිතුරු සපයයි. ඔහු පවසන්නේ නික්ම ගිය පසු ආර්ථික හෝ දේශපාලන බලයක් නොමැති නෝරාට ඇත්තේ තෝරා ගැනීම් දෙකක් පමණක් බව යි. එනම් තම දිිවිපෙවෙත රැකිගැනීමට ලිංගික ශ්‍රමිකාවක වීම හෝ නින්දාසහගත ලෙස තම සැමියා වෙත ආපසු යෑම පමණි.

ඔහු පවසන පරිදි ස්ත්‍රී හෝ පුරුෂ හෝ වේවා මිනිසෙකු සැබෑ නිදහස උරුම කරගත හැකි වන්නේ ආර්ථික ස්වාධීනත්වය සහ දේශපාලන නිදහස අත්කර ගතහොත් පමණි. එනම් තනි තනි වශයෙන් පුද්ගල විමුක්තිය අත්කර ගැනීමට ප්‍රයත්ත දරනවා වෙනුවට පුඑල් සමාජ විප්ලවයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු බව යි. ඒ වෙනුවෙන් ක්‍රියාකළ යුතු බව යි.

 

කෙසේ නමුත් ලු ශුන් කියන්නේ සමාජ ආර්ථික සහ සංස්කෘතික පීඩනයෙන් මිරිකුණු මිනිසුන් එයින් මිදීමට දරන ප්‍රයත්නය වැළැක්වීය නොහැකි බව යි. ඔහු කියන පරිදි නික්ම නොගියොත් “කුණුවෙමින් තිබෙන තම මළ මිනිය දෙස බලාගෙන” (witnessing their own rotting corpses) සිටීමට සිදුවන බව යි.එම අරුතින් නෝරා ගේ අවදි වීම සහ නික්ම යෑම වැළැක්වියහැකි දෙයක් නොවේ. 

මෑතක දී අප අතරින් වියෝ වූ කීර්තිමත් ඉන්දියානු සමාජ ක්‍රියාකාරිනියක වූ කම්ලා භාසින් සිය සමාජ ක්‍රියාකාරකම් සඳහා ලංකාවට පැමිණි අවස්ථාවක කියූ කරුණක් මෙහි දී සිහිපත් කළ යුතු ය. “මාක්ස්වාදී අර්ථයෙන් සමාජය පූර්ණ විප්ලවීය වෙනසකට භාජනය වෙනකම් අපිට බලා ඉන්න බෑ! අපි ගැහැනුන් පීඩනයට පත්කරන සහ ප්‍රචණ්ඩත්වය මුදා හරින ක්‍රම පද්ධතිවලට විරුද්ධව දිගට ම සටන් කරනවා” එයින් අදහස් වන්නේ නෝරා සහ සුද්දි වැනි ගැහැනුන් දිගට ම තම නික්ම යෑම් සිදුකරන බවත් ඔවුන් තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ය.

 

ලු ශුන්ගේ දේශනයේ මූලික හරය ගැන අධ්‍යයනක යෙදෙන වේරා ෂ්වෝට්ස් (Vera Schwarcz) පවසන්නේ නෝරා සාකල්‍යයෙන් ම “පුද්ගලවාදී විකල්පය” (individualistic alternative) මූර්තිමත් කරන බව යි.

 

ඉබ්සන් නෝරා නිර්මාණය කරන්නේ සියලු සමාජ ධර්මතා වලට එරෙහි වන ගැහැනියක ලෙසයි. ලු ශුන් කියන පරිදි නෝරා යනු පරිපීඩනයෙන් සහ ආත්ම වංචාවෙන් මිදී තම ආත්මය පරිපූරණය කරගැනීමට වෙර දරන මිනිස් වෙසින් පැමිණි අවතාරමය අධිෂ්ඪානය යි. එහෙත් ලු ශුන් “නෝරා පිළිබඳ ප්‍රේරණයක් හෙවත් අනිවාර්යකරණයක්” (Nora compulsion) ඇතිවීම ගැන අනතුරු අඟවයි.

අනෙක් අතට ඔහු සපථ කර සිටින්නේ නෝරා යනු බෝහෝ කාලයක් කූඩුවක සිරවී සිටි කිරිල්ලියක බව යි. කූඩු දොරෙන් එළියට පැමිණි මොහොතේ ම ඇයට අනාගතයක් පිළිබඳ ඇති අවිනිශ්චිතභාවයට මුහුණදීමට සිදුවේ. මන්ද යත් ඇගේ පියාපත් දුර්වල වී ඇත්නම් පියාඹන පුරුද්ද අමතක වී ඇත් නම් කූඩුවෙන් පිට නුහුරු පරිසරයක ඇයට අනාගතයක් නැති බැවිනි. 

මෙහි දී ලු ශුන් පුද්ගලවාදී විමුක්තිය (individualistic emancipation) පිළිබඳ සිය විවේචනය ඉදිරිපත් කරයි. එනම් ඔහුගේ අදහස පරිදි සමාජයේ පවතින නිශ්චිත යථාර්ර්ථයන්ගෙන් වියෝ වී පවතින නෝරා ප්‍රේරණය නියත වශයෙන් ම උගුලකි. මෙහි දී අප මතක තබාගත යුතු කාරණයක් නම් නෝරා මෙන් ම සුද්දී ද සිය නිවෙස්වලින් නික්ම යන්නේ හිස් අතින් බව යි.

ලු ශුන් කියන පරිදි අද්‍යතන සමාජයේ ස්ත්‍රීන් පිරිමින්ගේ රූකඩ වනවා පමණක් නොව ස්ත්‍රීන් ස්ත්‍රීන්ගේ රූකඩ බවට පත්වන අතර පිරිමින් අනෙක් පිරිමින් අතර රූකඩ බවට පත් වේ. ඔහුට අනුව මෙම දුර්දශාව ජයගත හැකිිවන්නේ ස්ත්‍රීන් කීපදෙනකු එකතුව ආර්ථික බලයක් අත්පත් කරගැනීමෙන් නොවේ. ආර්ථික බලය අන්තර්කාලීන අරමුණක් පමණක් ලෙස තබාගෙන පරිපූර්ණ විසදුම් සෙවීමට සියලු ස්ත්‍රීන් සහ පිරිමින් උත්සුක විය යුතු බව යි. 

අවසාන වශයෙන් අපට හැඟීයන්නේ ඉබ්සන්ගේ අතින් නිර්මාණය වූ නෝරා සංකේත්මකව නැගී එන නවමු සහ රැඩිකල් සමාජ විඥානයක් සලකුණු කළ වගයි. එහෙත් ලු ශුන් පවසන පරිදි නෝරාගේ නික්ම යෑම ඉතා දුෂ්කර අරගලයක පටන් ගැනීමක් පමණි. එනයින් නෝරාගේ නික්ම යෑම උත්කර්ශයට ලක්කිරීම අවදානම් සහගත ය. ඒ මන්දයත් මුල් අවස්ථාවේ පුද්ගලවාදී විමුක්තියට සහසම්බන්ධව මතුවන සමාජ විඥානය පූර්ණ විප්ලවවාදී විඥානයක් ලෙස අර්ථකථනය වීමේ අවදානමක් පවතින බැවිනි.

ප්‍රසන්න ජයකොඩි ශූර ලෙස චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිර්මාණයේ යෙදෙන නිර්මාණකරුවෙකි. සමාජ සංස්කෘතික අගතීන් සහ අසාධාරණයන් තුළ ගැටෙමින් ජීවත්වන ලෙයින් මසින් සැදුණු චරිත නිර්මාණය කිරීම සහ ඔවුන්ගේ සංකීර්ණ මනෝ ගතීන් නිරූපණය කිරීම, තියුණු දෙබස් මගින් ආඛ්‍යානය පවත්වාගෙන යෑම, භාවාතිශය තලයකට යෑමට නොදී නඑ නිළියන් හැසිරවීම ආදී නිර්මාණයක මූලිකාංග කෙරෙහි ඔහු දක්වන සැලකිල්ල අපූර්ව ය. එමෙන් ම පුඑල් අර්ථයෙන් මෙම ටෙලිමාලා නාටකය සමාජයේ පහළ මාලයේ ජීවත්වන මිනිසුන් ගැන කථාවකි.

මෙම ටෙලි නාට්‍යයේ අවසානය තීරණය කළයුත්තේ විචාරකයන් නොවේ. එය නිර්මාණකරුවාගේ පරම අයිතිය යි. ප්‍රසන්න මෙම ටෙලි නාට්‍යය අවසානයේ පිරිමින්ගේ පරිපීඩනයෙන් මිදී රැඩිකල් පියවරක් තබන සුද්දී අපට මුණගස්සවයි. බස්රථයෙන් බැස්සාට පසු අවිනිශ්චිත අනාගතයකට මුහුණදෙන සුද්දීට කුමක් වේ දැ යි කියා අපි කිසිවෙක් නොදනීමු.

සුද්දී කියන පරිදි ඇයට වද දුන් මිනිස්සු අස්සෙ කවදාවත් ඇයගේ දරුව හදන්නෙ නැත්නම්ඒ දරුවන් හදාගන්න වෙන්නේ කොහෙ ද? සුද්දී බස් ඒකේ නැගල යන්නේ එහෙම වද නොදෙන මිනිසුන් ඉන්න සමාජයකට ද? කුටුම්බයක් තුළ වෙසෙන පිරිමි පීඩකයන්ගෙන් මිදී පුද්ගල විමුක්තියක් අත්පත් කරගන්නට සුද්දීට හැකිවෙයි ද? නැතහොත් උත්ප්‍රාසජනක ලෙස සුද්දීට නැවතත් තම දරුවා ජීවත් කරලීමට කලින් නිරත වූ වෘත්තිය ම තෝරාගැනීමට සිදුවේ ද නැද්ද? නැතහොත් සිය ආත්මාභිමානය ඉවත ලා නැවත සිරි මාමා වෙතට යෑමට සිදුවේ ද?

අවසාන විනිශ්චයකට යෑමෙන් තොරවහෝ මෙවැනි සංකීර්ණ සමාජ යථාර්ථයන් පිළිබඳ ප්‍රශ්න ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට මතුවිය හැකි ය. එයිත් අදහස් වන්නේ සිය නිර්මාණය තුළින් නිර්මාණකරුවා මෙවැනි ප්‍රශ්න වලට උත්තර බැඳිය යුතු බව නොවේ. මෙහි නාට්‍යයේ අවසානය පිළිබඳ මුහුණු පොතෙහි ලියවුණු මුඛ්‍ය අදහසක් වූයේ සුද්දීගේ නික්ම යෑම ඉතා සාධාරණ සහ විමුක්තිකාමී බව යි.

මෙම අදහසට බලපාන එක් හේතුවක් වන්නේ නාට්‍යයේ අවසාන රූප රාමු පෙළින් ම නිරූපණය වන සුද්දීගේ භාව ලීලාවන් ය. ඇගේ ශරීර භාෂාව ඉතා ස්ථීරසාර ය; අධිෂ්භඨාන සහගත ය. මේ යන්නේ ගමනාන්තයක් නො දන්නා අවිනිශ්චිත ගමනක් බව නාට්‍යයේ අවසාන රූප රාමු වලින් හෝ දෙබස් වලින් ප්‍රකට වන්නේ නැත. 

මෙවැනි සංකීර්ණ හැඟීම් ප්‍රකට කරමින් ඒවා සියුම් ලෙස කියවීමකට ඉඩදෙන ඉඟි, කලා නිර්මාණයට ඇතුළත් වන්නේ නම් එම කලා නිර්මාණය විවිධ පර්යාලෝකයන්ගෙන් කියවීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව හිමිවේ. එමෙන් ම සුවිශේෂයක් ලෙස ඉදිරිපත් වන සුද්දීගේ ජීවිතය ඉක්මවාසාමන්‍යය ලෙස මෙවැනි සමාජ පරාසයක ජීවත්වන පොදු මහත් සියලු මිනිස් ප්‍රජාවන් පිළිබඳ සහකම්පනයක් සහ කොන්දේසි විරහිතව පෙනී සිටීමේ ලාලසාවක් ප්‍රේක්ෂකයාට ජනිත වේ.

ඔබගේ අදහස් අපට එවන්න.