අප මෙතෙක් සාකච්ඡා කළේ හෙගල්ගේ මූලික සංකල්පයන් පිළිබඳව ය. මේ ලිපියෙන් අපේ ඒ සම්බන්ධයෙන් වූ දීර්ඝ ලිපි මාලාව අවසන් කෙරේ.
1618-1648 අවුරුදු 30ක යුද කාලයේ කුඩා ගම් ආකාරයට සැකසී තිබුණු ජර්මනිය ශුද්ධ රෝම අධිරාජ්‍යයේ දෘෂ්ටිවාදය මඟින් පාලනය විය. මේ කාලයේ ජර්මනිය සංස්කෘතිමය වශයෙන් වැදගත් රටක් වූයේ නැත. ප්‍රොතෙස්තන්ත හා කතෝලික ප්‍රදේශ අතර නිරන්තර ගැටුම් හා සතුරුකම් පැන නැඟී තිබිණි. මොවුන් දෙපිරිස කිසි ම ආකාරයක සංස්කෘතික සාමුහිකත්වයක් හුවමාරු කර ගත්තේ නැත. ඔවුන් පොදුවේ හුවමාරු කර ගත්තේ භාෂාව පමණි. ‘ජර්මනිය’ යන්න හුදෙක් භාෂාව උපුටා ගැනීමට පමණක් සීමා වී පැවතිණි.
1781 දී පමණ ජර්මානු දර්ශනය යුරෝපියානු දර්ශන පථයට ප්‍රවේශ විය. එම ප්‍රවේශය යුරෝපියානුවන්ට පමණක් නොව ලෝකයට ම බලපෑමක් කළේ ය. සොබාදහම, ආගම, මිනිස් ඉතිහාසය, ඥානයේ ස්වභාවය, දේශපාලනය, මිනිස් මනසේ ව්‍යූහය ආදී සියල්ලට ම බලපෑම් කළේය. මේ දර්ශනය තේරුම් ගැනීමේ අපහසුව නිසා ම 'ජර්මානු’ යන්න තුළින් ගැඹුරු බව, ලෙහෙසියෙන් තේරුම් ගැනීමට ඇති අපහසු භාවය හැඟවුම්කරණය කළේ ය.
ජර්මානු දර්ශනය ජර්මනියට දැක්වූ සම්බන්ධය කුමක් ද? ජර්මනිය ගැන අප සිතන්නට පෙලඹෙන්නේ එහි දාර්ශනික, සාහිත්‍යමය හා විද්‍යාත්මක පිබිදීමක් 18 වන ශතවර්ෂය අග භාගයේ සිදු වූ නිසා ය. ජර්මනිය සාහිත්‍යය හා දාර්ශනික ක්‍ෂේත්‍රයෙන් එක්සත් භාවයක් අත්පත් කර ගත් රටක් වූ නිසා ය. ජර්මනිය වනාහි කවීන්ගෙන් හා දාර්ශනිකයන්ගෙන් පරිපූර්ණ රටක් වුවත් දේශපාලනික ප්‍රගතියක් අත්පත් කර ගත් රටක් වූයේ නැත.
හෙගල් ජීවත් වන්නේ දාර්ශනික, ඓතිහාසික හා දේශපාලන නැගිටීම් ගණනාවක් සිදුවන කාල පරිච්ඡේදයක ය. අලුත් චින්තනයක් විකසිත වීමට අවකාශය නිර්මාණය වී තිබිණි. එම්මානුවෙල් කාන්ට්ගෙන් ආරම්භ වූ ජර්මානු විඥානවාදය තව දුරටත් ඉදිරියට ගෙන යාම ඓතිහාසිකව හෙගල්ට පැවරුණු වගකීම විය. මෙය සම්භාව්‍ය ග්‍රීක දර්ශනය නැවත පණ ගැන්වීමක් ලෙසට ද ගත හැකි ය. කාන්ට්ගේ විචාරාත්මක දර්ශනය මඟින් කියවුණු දෙයක් වූයේ ලෞකික විද්‍යාවට ඇති මාර්ගය පාරභෞතික එකක් වන බව ය. ඔහු අතින් ස්වාභාවික විද්‍යාවේ නියතවාදයත්, සදාචාරයේ නිදහසත් එකිනෙක සංතුලනය කිරීමක් සිදු විය. එසේ නමුත් නිදහස හා නියතවාදය අතරත්, සදාචාරය හා විද්‍යාව අතරත් පැන නැගුණු ද්වෛතය කාන්ට් අතින් පරිපූර්ණ වශයෙන් විසඳුණේ නැත. මෙයට විසඳුමක් දීම දාර්ශනික අවශ්‍යතාවක් විය. බිහි විය යුතු නව චින්තනය මගින් ස්වාභාවික විද්‍යාව, කලාව, ඉතිහාසය, පාරභෞතිකවාදය, සදාචාරය, ඥාන විභාගය, දේශපාලන දර්ශනය පමණක් නොව ආගම පිළිබඳ දර්ශනයත් එක්තැන් කළ යුතු විය.
හෙගල් ජීවත් වූ යුගය සංස්කෘතිමය වශයෙන් බුද්ධි ප්‍රබෝධය හා රොමෑන්තිකවාදය එකිනෙක මුණ ගැසෙන යුගයකි. බුද්ධි ප්‍රබෝධය මගින් විද්‍යාවට, සදාචාරයට, දේශපාලනයට හා ආගමට එකතු කළ යුතු නව අදහස් ගැන හෙගල්ට හොඳ අවබෝධයක් තිබිණි. අනෙක් අතට, මේ නව අදහස්වලට බාධා කළ අදහස් හා බලවේගයන් ගැන ද ඔහුට හොඳ සංවේදීත්වයක් තිබුණි. එමෙන් ම, බුද්ධි ප්‍රබෝධය හා රොමෑන්තිකවාදය යන දෙකෙහි ම වූ සාධනීය ලක්ෂණ අන්තර්ගත කරමින් ඒවා නව චින්තනයට උරා ගත යුතු ය යන්න හෙගල්ගේ අදහස විය. මේ තත්වය ගැන හොඳින් දැනුවත්ව හෙගල් සාරාත්මයේ ප්‍රපංච විද්‍යාව කෘතිය රචනා කළේ ය.
මේ විප්ලවීය අදහස් බිහි කිරීමට හෙගල් යොමු කරවන්නේ තමන්ගේ කාලයේ දේශපාලන සිදුවීම් ය. 1790-95 වැනි කාලයක රැඩිකල් තරුණයෝ තමන්ගේ භූමියේ විප්ලවීය දියුණුවක් පැතූහ. නමුත් එම දශකය අවසානයේ මේ පැතුම බොඳ වී ගියේ ය. පැරණි පාලන තන්ත්‍රය කිසි ම පරිවර්තනයක් නො පෙන්වූවේ ය. අවසානයේ බලාපොරොත්තු සහගත වෙනසක් ශේෂ වී තිබුණේ ප්‍රංශ හමුදාව සහ එහි නායකත්වය දැරූ නැපෝලියන් තුළ පමණි. 1800-05 අතර කාලයේ නැපෝලියානු හෙජමොනිය ඉතා ම ප්‍රතිජානාත්මකව භාර ගත් අය අතර හෙගල් ඉහළින් ම සිටියේ ය. නමුත් මේ වෙනස 1790-95 කාලයේ සිහින දුටු ආකාරයේ තරම් ම විප්ලවීය නො වී ය. එය, මිනිසා සවිඥානකව තමන්ගේ ඉතිහාසය නිර්මාණය කර ගනී යන්න ඔප්පු කිරීමට තරම් ප්‍රබල මොහොතක් වූයේ නැත. යිනා සටනින් ප්‍රසියාව හෙල්ලුම් කෑමෙන් පසු තවත් විප්ලවීය සිදුවීමක් හෙගල් බලාපොරොත්තු විය. හෙගල් තමන්ගේ සාරාත්මයේ ප්‍රපංච විද්‍යාව කෘතියේ කියා සිටියේ 'අපගේ කාලය වනහි නව උත්පත්තියක් බිහි කරන පරිවර්තනීය එකක් බව ය’.
විඥානවාදය ලෝකය තේරුම් ගන්නේ ලෝකය පිළිබඳ අදහස හරහා ය. මෙයින් ලෝකය දෙයක් හෝ දේවල් සමූහයක් ලෙස තේරුම් ගන්නේ නැත. විඥානවාදී දාර්ශනිකයන් ලෝකය අදහස්වලින් ස්වායත්ත කර තේරුම් ගන්නේ නැත. මේ අනුව, විඥානවාදීහු යථාර්ථයේ පදනම විඥානය ලෙසට ගනිති. විඥානවාදය තුළ හෙගල් කළ ඉහළ ම දායකත්වය වූයේ එකිනෙක පුද්ගල අදහස් එකතු වී පරම අදහසක්, සමස්තයක් නිර්මාණය වේ යන අදහස පිළිගැනීම ය.
මේ පරිවර්තනීය යුගයේ දී හෙගල් මිනිසාගේ සිට පරමාත්මය දක්වා ගමන් කළේ ය. හෙගල් දේවවාදයේ අනුභූති උත්තර දෙවියන් වහන්සේ වෙත හෝ මිනිසාගේ පුද්ගල සාරයට පිවිසුණේ නැත. හෙගල් පරමත්වය සාරාත්මය ලෙසට (Absolute as Geist) ගත්තේය. මෙහි පරමත්වය යනු සාර්ව, සම්පූර්ණ, ස්ව-ධාරක, සර්ව-ආවෘත බව ය. හෙගල් Geist යැයි කියන්නේ පුද්ගල මනෝ විද්‍යාවේ එන මනසට (mind) නො වේ. හෙගල්ගේ Geist=Mind ලෙස ගත්තත් එය පුද්ගල මනසක් නො වේ. පුද්ගල මනසට හෙගල් දුන් නාමය වූයේ ආත්මීය සාරාත්මය (subjective Spirit) යන්න යි. පුද්ගලයෙකුගේ මානසික ගුණයන් වන හැඟීම, සම්ප්‍රජානනය, ආශාවන්, ප්‍රතිභානය, චින්තනය, භාෂා උපාර්ජනය, පරිකල්පනය යන ඒවා මෙයට අයත් ය. හෙගල් සාරාත්මයේ තවත් පාර්ශ්වයක් වාස්තවික සාරාත්මය (objective Spirit) ලෙස නම් කරයි. මෙය මඟින් නියෝජනය කරන්නේ පුද්ගල මනසට ඉහළින් විවිධ ආකෘතීන් ලෙස සාරාත්මය පෙනී සිටීම ය. එය ජන සමූහය (ප්‍රජාව) හා සංස්කෘතිය සමඟ සම්බන්ධ ය; චාරිත්‍ර වාරිත්‍ර හා නීතිය සමඟ සම්බන්ධ ය. සාරාත්මයේ ඉහත ස්වරූපයන් දෙකට අමතරව පරම සාරාත්මය (Absolute Spirit) යනුවෙන් පාර්ශ්වයක් ද ඇත. එයට අන්තර්ගත වන්නේ ආගම, කලාව හා දර්ශනය යන ඒවා ය. මේවා සියල්ල ආත්මයේ විවිධ අවධීන් හෝ මට්ටම් ය. මේ විවිධ මට්ටම් අතර අදහස් හුවමාරුවට හෙගල් කීවේ චින්තනය යන්න ය. එය වනාහි ස්වයං-විඥානය යි. එය ආරම්මණ ක්‍රියාවකි. පරම ආත්මය මඟින් ලෝකය යනු ඓන්ද්‍රිය ක්‍රියාවලියක් බව කියවේ. ‘Absolute’ යන නම භාවිත වූයේ ඒ නිසා ය. මේ පරමත්වය සොබාදහමෙන් හා පුද්ගල මිනිසාගෙන් පරිබාහිර නො වේ. මේ පරමත්වය ගතික ක්‍රියාවලියකි. එය කොටස්වලින් සෑදී තිබුණත් සංකීර්ණ පද්ධතියක් ලෙස සංවිධානය වී ඇත. එය ලෝකයෙන් වෙන්වූවක් ද නො වේ. එය ලෝකය ප්‍රකාශයට පත් වන සුවිශේෂ විධියකි. සාරාත්මයේ මේ සියලු පාර්ශ්වයන්ගේ අභ්‍යන්තර සාරයට මනුෂ්‍ය තර්ක බුද්ධියෙන් ළඟා විය හැකි ය. සොබාදහම ලෙස පමණක් නොව මනුෂ්‍ය මනස ලෙස ද පරමත්වය ප්‍රකාශයට පත් වේ.
හෙගල්ගේ සංකල්ප අතර ප්‍රධාන එකක් වන්නේ පරමත්වය ය. පරමත්වය යනු යථාර්ථයේ සමස්තය ය. කෙසේ නමුත් හෙගල් පරමත්වය වනාහි අපරිමිත සාරාර්ථය (infinite substance) වශයෙන් ගන්නේ නැත. එවැන්නක් කීවේ ස්පිනෝසා ය. හෙගල් මෙහි දී කියන්නේ පරමත්වය සාරාර්ථය පමණක් නොව ආත්මය ද වන බව ය. තව දුරටත් හෙගල් කියන්නේ යථාර්ථයේ සමස්තය ක්‍රියාවලියක් බව ය. පරමත්වය වනාහි තමන්ව ම පිළිබිඹු කර ගන්නා ක්‍රියාවලියක් බව ය. ෆිෂ්ට කියන්නේ ආත්මය විරහිත වාස්තවිකත්වයක් නැති බව ය. නමුත් හෙගල්ට අනුව වාස්තවිකත්වය මෙන් ම ආත්මීයත්වය පරමත්වයේ මොහොතවල් දෙකක් පමණි. එමෙන් ම, සොබාදහම සත් (real) නො වේ. සොබාදහම යනු පරමත්වය වාස්තවික ආකාරයට පෙනී සිටීමකි.
හෙගල් නිතර ම පරමත්වය නාම පදයක් ලෙසටත් නාම විශේෂණයක් ලෙසටත් යොදා ගෙන තිබේ. පරම ඥානනය (absolute knowing- absolutes Wissen) යනු සාරාත්මයේ ප්‍රපංච විද්‍යාව පොතෙහි අවසන් අදියර නම් කිරීමට හෙගල් ලබා දුන් නම ය. පරම අදහස (absolute Idea- absolute Idee) යනු තර්ක විද්‍යාව පොතෙහි අවසන් අදියර ය. පරම ආත්මය (absolute Spirit- absoluter Geist) පරමාත්මයේ දර්ශනය පොතෙහි අවසන් මොහොත ය. විශ්වකෝශ පද්ධතියේ (Encyclopedia Logic) අවසානය තුළ සමස්තය බිහි වේ. ක්‍රමානුකූල ක්‍රියාවලිය ගමන් කරන්නේ පරම දිශාවකට වන අතර එය යම් අවසානයක් (end) හෝ ප්‍රතිඵලයක් (result) බිහි කරයි. එය මෙසේ සංකල්ප ගත කළ හැකි ය: විඥාන අත්දැකීමේ ප්‍රපංච විද්‍යාත්මක ක්‍රියාවලියේ අවසානයත් ශුද්ධ චින්තනයේ තාර්කික ක්‍රියාවලියේ අවසානයත් පරම ස්වරූපයකින් සමන්විත ය.
ප්‍රපංච විද්‍යාව අවසන් වන්නේ තර්ක විද්‍යාවේ වර්ධනයට ආරම්භය ලබා දෙමිනි. තර්ක විද්‍යාව අවසන් වන්නේ සොබාදහමේ දර්ශනයට ආරම්භය ලබා දෙමිනි. හෙගල්ගේ පරම ආත්මය (absolute Spirit) ආත්මයේ වර්ධනයේ අවසන් අදියර ය. එමෙන්ම, එය සමස්තමය ලෙස දාර්ශනික පද්ධතියක්ද වේ.
හෙගලියානු පද්ධතිය තුළ සමස්තය ගැන කතා කරන අතර මේ සමස්තය පරමත්වය වේ. පරමත්වය අත්පත් වන්නේ ක්‍රියාවලියක් හරහා ය. හෙගල් පවසන ආකාරයට, පරමත්වය අවශ්‍යයෙන් ම ප්‍රතිඵලයකි. එමෙන් ම, එය සත්‍ය වන්නේ අවසානයේ දී ය. (Hegel 1977, 11). [1]
මෙය ශෙලිංගේ පරමත්වය සම්බන්ධයෙන් හෙගල් කරන විවේචනයකි. ශෙලිං පරමත්වය පිහිටුවන්නේ ක්‍රියාවලියේ ආරම්භයේ ය. නමුත් හෙගල් කියන්නේ ආරම්භය තුළ පරමත්වය පරම නොවේ. එය පරම එකක් වන්නේ අවසානයේ දී ය. ඔහුට අනුව සත්‍යයේ සමස්තය පරිපූර්ණ වීම ස්වයං වර්ධනය හරහා සිදු වන නිසා එයට ආත්මය යැයි කියනු ලැබේ. වෙනස් වෙමින් ස්වයං වර්ධනය වන ආත්මයට හෙගල් කියන්නේ Geist යන්න ය. සාරාත්මයේ සාක්ෂාත්කරණයේ ව්‍යුහයට දයලෙක්තික යැයි කියනු ලැබේ.
හෙගල් සාරාත්මයේ ප්‍රපංච විද්‍යාව පොත ලියන්නේ තමන්ගේ සමස්ත පද්ධතියට හැඳින්වීමක් ලෙසට ය. මේ හැඳින්වීම පිටු 600 ක් පමණ විය. මෙම පද්ධතිය පටන් ගන්නේ විඥානයේ චලනය සිදු වන ආකාරය මඟින් ය. විඥානයේ චලනය යථාර්ථයේ චලනයට අනුරූප ය. පරමත්වය යනු සමස්ත යථාර්ථය ය. සාරාත්මයේ වර්ධනය හෙවත් මනසේ වීර චාරිකාව (The Odyssey of Mind) ඉහත කෘතිය මඟින් ඉදීරිපත් වේ. මේ කතාව පුද්ගලයෙකුගේ අරමුණු හරහා විස්තර නො වේ. එය විස්තර වන්නේ සාරාත්මයේ අරමුණු හරහා ය. එහි අරමුණු ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික යුග, දේශපාලන හා සමාජ ආයතනයන් හරහා ය. ආයතනයන් පරිවර්තනය වන්නේ නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීමට ය. මිනිසා වඩාත් පුළුල් විශ්ව ආත්මයකට සම්බන්ධ බව මෙයින් කියවෙයි.
හෙගල්ට අනුව සාරාත්මය මිනිසාට වඩා ශ්‍රේෂ්ඨ ය. එය ඉතිහාසයේ ආත්මය ය (subject of history). ඓතිහාසික ක්‍රියාවලිය පුද්ගලයෙකුගේ සවිඥානක අරමුණුවලින් විස්තර කළ නොහැකි ය. එය විස්තර කළ හැක්කේ පරමාත්මයේ අරමුණ හරහා ය. වෙනත් ලෙසකින් කීවොත්, මිනිසා තමන්ට වඩා විශාල විශ්වමය ආත්මයකට සම්බන්ධව සිටින බව තේරුම් ගත යුතු ය. මේ විශ්ව ආත්මය හෙගලියානු සාරාත්මය ය.
සාරාත්මය යන්න හෙගල්ට උරුම වන්නේ කාන්ට්ගේ සංවිජානනයේ අනුභූති උත්තර ඒකත්වය (Transcendental Unity of Apperception) හා ෆිෂ්ට හා ශෙලිංගේ පරම අහම (Absolute Ego) යන සංකල්පයන් මඟිනි. හෙගල් මේ දෙස බලන්නේ පරම ඥානනයේ (Absolute Knowing) කෝණයෙනි. පරම ඥානනය යනු පරම ආත්මය තමන්ව ම අවබෝධ කර ගැනීම ය. එයට හෙගල් කීවේ පිරිසිඳ දැන ගැනීමේ ඥානය (comprehensive knowing) කියා ය. යම් සාරයක් ස්වායත්තව හෝ පරායත්තව (in-and-for-itself) අවබෝධ කර ගැනීම ය. හෙගලියානු ප්‍රපංච විද්‍යාව යනු යනු මේ සාරාත්මය අනුයාත මිනිස් විඥාන අවධීන් ලෙස පෙනී සිටීම ය. මේ අවධීන් සරල සංවේදන අවධියේ සිට පරම ඥානනය නම් අවධිය දක්වා පෙනී සිටියි. සාරාත්මයේ වර්ධනය අවධීන් තුනක් හරහා සිදු වේ. ඒ පරමාදර්ශී (ideal), සත් (real) සහ පරම (absolute) වශයෙනි. එය ආත්මීය (subjective), වාස්තවික (objective) සහ පරම (absolute) වශයෙන් ද නම් කළ හැකි ය.
පරමත්වයට හෙවත් සත්‍යයට ළඟා වන්නේ ක්‍රියාවලියේ ස්වයං වර්ධනය සම්පූර්ණ වන මොහොතේ දී ය. මේ අනුව, පරමත්වය ක්‍රියාවලියකින් ලැබෙන ප්‍රතිඵලයකි. සත්‍යය උදා වන්නේ සමස්තය තුළ ය. සාධ්‍යතාවාදී ලෙස ක්‍රියාවලිය අවසානයට පත් වීම තුළ සමස්තය අත්පත් වේ. සොබාදහම යනු මේ සමස්තය වස්තුමය වීම ය. මේ අනුව පරමත්වයේ වර්ධනය තුන් ආකාරයකට පෙනී සිටියි. [2]
1.පරමත්වය ස්වායත්ත ලෙස පෙනී සිටීම(absolute-in-self): ඔහුගේ තර්ක විද්‍යාවේ දර්ශනය (Philosophy of Logic) තුළ මෙය අන්තර්ගත ය.
2.පරමත්වය පරායත්ත ලෙස පෙනී සිටීම (absolute-for-itself): හෙගල්ගේ සොබාදහමේ දර්ශනය: (Philosophy of Nature) තුළ මෙය අන්තර්ගත ය.
3.පරමත්වය ස්වායත්ත හා පරායත්ත ලෙස පෙනී සිටීම (absolute-in-and-for-itself): හෙගල්ගේ සාරාත්මයේ දර්ශනය (Philosophy of Spirit) තුළ මෙය අන්තර්ගත ය.
හෙගල්ට අනුව සාරය වන්නේ සද් වන දෙය යි. එය වෙනත් දෙයක් බවට පරිවර්තනය වේ. එය ආධ්‍යාත්මික සාරාර්ථය ද වෙයි. එය එහි ම වස්තුවකි. එය එය ම ඉක්මවා යයි. එය සද්භාවාත්මක වශයෙන් නිෂේධනාත්මක ලක්‍ෂණ දරයි. එයට තිබෙන්නේ එහි ම වූ භවතාවකි (becoming). කවයක් ගත හොත් එය ආරම්භයක් උකල්පනය කරන අතර අවසානයක් ද උපකල්පනය කරයි. අදහසේ වර්ධනයේ චලනය ද මේ ආකාර ආරම්භයක් හා අවසානයකින් යුක්ත ය. ස්වයං-ගාමක බව (self-movement) එහි ලක්‍ෂණය වේ. සමස්තය පූර්ණ වන්නේ තමන්ගේ ම වර්ධන ක්‍රියාවලිය තුළ ය. මේ නිසා සාරාත්මය වර්ධන ක්‍රියාවලියේ ම ප්‍රතිඵලය වෙයි. සොබාදහම ගත හොත් එය සදා නිම වූ ඝනීභූත වූ සාරාත්මයෙන් ස්වායත්ත වූවක් නො වේ. සොබාදහමේ අවසන් සත්‍යය ද පිහිටන්නේ සාරාත්මය තුළ ය.
සාරාත්මය ලෝකයෙන් ස්වායත්ත වූවක් ද නො වේ. සාරාත්මයේ අභ්‍යන්තර ගතිකයන් මනුෂ්‍ය විචාරයෙන් අනාවරණය කර ගත හැකි ය. සාරාත්මය බාහිරට විවෘත වන්නේ සොබාදහම ලෙසට ය. එමෙන් ම මනස වැඩ කරන ආකාරය ලෙසට ය. මේ අනුව සාරාත්මය මිනිස් චින්තනයෙන් වෙන් කළ නොහැකි ය. සොබාදහම සාරාත්මයේ පරාරෝපිතයකි. සාරාත්මය ප්‍රකාශ වන්නේ සොබාදහමේ ම අවියෝජනීය කොටසක් ලෙසට ය.
සොබාදහම මේ සාරාත්මයට වඩා පහත් ය; දුර්වල ය. එය ඉතිහාසයටත් වඩා දුර්වල ය. ඉතිහාසය වනාහි කාලය තුළ ආත්මය පෙනී සිටීමකි. හෙගල් ට අනුව, දර්ශනය වනාහි සංයුක්ත බවින් ඈත් වූ විශ්ලේෂී හුදු පරිකල්පනීය බුද්ධිමය ව්‍යායාමයක් නො වේ. එය පුද්ගලයෙකුගේ ජීවමාන අත්දැකීමකි.
හෙගල් සඳහන් කළ ආකාරයට සාරාත්මයේ ඇති ආත්මීය ස්වරූපය මඟින් යථාර්ථය ආත්මීය ස්වරූපයක් ගන්නා බව පෙන්නුම් කරයි. මෙයින් කියන්නට යන දෙය තේරුම් ගත හැක්කේ රූපික තර්කයකින් නොව දයලෙක්තික තර්කයකිනි. හෙගල්ගේ ආත්ම හා සමාන පද්ධතියක් (subject-like-system) අවිසංවාදී නියමය සමඟ එකඟ නො වේ.
හෙගල් පය ගසා සිටින්නේ යථානුභූතවාදීන්ට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය තුළ ය. යථානුභූතවාදීන්ට අනුව, සංයුක්ත ලෝකය සෑදී තිබෙන්නේ අනුභූතික කරුණුවලිනි. හෙගල්ට අනුව අනුභූතික කරුණු වනාහි අභ්‍යන්තර සාරයක ප්‍රකාශනයකි. මේ අභ්‍යන්තර සාරය යථානුභූතවාදයට අල්ලා ගත නොහැකි අතර එයට ගනුදෙනු කළ හැක්කේ මතුපිට ප්‍රකාශමානය සමග පමණි. සමස්ත සත්‍යය යථානුභූතවාදයට අල්ලා ගත නොහැකි ය. ‘සත්‍යය සමස්තයකි’ යන්න හෙගලියානු පද්ධතියේ අභ්‍යුපගමයකි. හෙගලියානු සත්‍යයේ විශේෂ ලක්‍ෂණය වන්නේ එය වර්ධනය වන සත්‍යයක් වීම ය.
හෙගලියානු දර්ශනය ලෝකය පිළිබිඹු කරන්නේ ලෝකයට පිටත සිට නො වේ. ආත්මයේ ක්‍ෂේත්‍රයේ සිට ලෝකය ප්‍රකාශයට පත් කරන අතර එය වාස්තවික ලෝකය තුළ අවබෝධ කර ගත හැකි ය. සත්‍යය මේ ලෝකය තුළ ම පෙන්නුම් කරයි. සත්‍යය යන්න වාක්‍යයකින් හෝ ප්‍රස්තුතයකින් ප්‍රකාශයට පත් වන දෙයක් නොව සත්තාවේ ප්‍රකාරයකි (mode of being). සත්‍යය දාර්ශනික දැනුම තුළ ප්‍රකාශයට පත් වේ. සම්ප්‍රදායිකව සත්‍යය යන්න නිර්වචනය වී තිබුණේ බුද්ධිමය සංකල්ප හා දෙය අතර ගැළපීමක් ලෙස ය; අනුරූපී වීමක් ලෙස ය. මෙහි දී අනිවාර්ය ගම්‍යයක් ලෙස සංකල්පය සහ දෙය එකිනෙකට ආගන්තුක ප්‍රවර්ගයන් දෙකක් බවට පත් කළේ ය. දේවල්මය ලෝකය එක් පැත්තකටත් සංකල්පමය ලෝකය තවත් පැත්තකටත් වෙන් කර දැමුවේ ය.
මෙසේ මතු වන ද්වෛතය හෙගල් ඉවත් කරයි. හේගල් ප්‍රකාශ කරන්නේ දෙය හා සංකල්පය එකිනෙකින් ආගන්තුක ප්‍රවර්ගයන් නොව එක ම දයලෙක්තික ක්‍රියාවලියේ ප්‍රතිබද්ධ අවස්ථා දෙකක් බව ය. හෙගල් අතින් ප්‍රකාශ වූයේ බුද්ධිමය (rational) දෙය සත් (real) බවත් සත් බව බුද්ධිමය වන බවත් ය. මෙම දෙකෙහි එක්සත් බව ලැබෙන්නේ සත්‍යයේ අවසන් අදියරේ දී ය. හෙගල්ට අනුව, දාර්ශනික ප්‍රකාශනයක් සත්‍ය වන්නේ සමස්ත ගතික සන්දර්භයට අනුකූලව ය. සන්දර්භය යනු පද්ධතිය සමස්තයක් වශයෙන් ගැනීම ය. මේ නිසා හෙගල් 'සත්‍යය සමස්තය වේ’ සහ 'සත්‍යය ප්‍රතිඵලය වේ’ යන ප්‍රකාශ සිදු කරයි.
සමස්තය සඳහා වන ආරම්භය වියුක්ත වුවත් අවසානය සංයුක්ත ය. ආරම්භයේ සිට අවසන් සාක්ෂාත්කරණය දක්වා අතර විවිධාකාර හැඩ ආකෘතීන් ගණනාවක් ඇත. නමුත් ඒ හැම අවධියක ම අඩුවක් ඇත. ඒ අඩුව සම්පූර්ණ කර ගැනීමට ඊළඟ අවධියට ප්‍රවේශ වේ. අඩුවක් සහිත අවධියක දී යථාර්ථය සාක්ෂාත්කරණය වන්නේ අසම්පූර්ණ ලෙස ය. මන්ද ඒ අවධි සීමා සහිත බවකින් යුක්ත නිසා ය. අඩුවකින් යුත් අවධියක සත්‍යයේ එක් පාර්ශ්වයක් පමණක් අනාවරණය කර දෙයි. හෙගල් මේ අඩුවට, අසම්පූර්ණත්වයට දුන් නම පරාරෝපණය යන්න ය. මේ පරාරෝපණය සමනය කර ගැනීමට අදහස (Idea) යන්න ස්වයං-වර්ධනය වේ. ක්‍රියාවලිය ඉදිරියට ඇදීමට සද්භාවාත්මක තල්ලුව ලබා දෙන්නේ මේ පරාරෝපණය ය. අවසන් අවධියේ දී පරාරෝපණය අවසන් වෙයි.
අදහස ස්වයං-වර්ධනය වන්නේ තාර්කික පිළිවෙළකට අනුව ය. එයට දයලෙක්තිකය යැයි කියනු ලැබේ. හෙගලියානු දයලෙක්තිකය ආකාර දෙකකින් ප්‍රකාශමාන වේ (Yovel 2005:38).
1. දයලෙක්තිකය ගමනක් ලෙස (dialectic-as-a journey)
2. දයලෙක්තිකය විද්‍යාවක් ලෙස (dialectic-as-a science)
පළමුවැන්නෙහි නිෂේධනය ප්‍රමුඛ වෙයි. වෙනත් ලෙසකින් කීවොත්, මේ අක්‍ෂය තුළ නිෂේධනීය දයලෙක්තිකයක් (negative dialectic) ක්‍රියාත්මක වෙයි. දයලෙක්තිකයේ හැම නව අවධියක් ම මුල් අවධියේ අපොහොසත්භාවය මඟින් බිහි කරයි යන්න මෙයින් කියවෙන අදහස ය. නව ප්‍රතිජානන අන්තර්ගතය මුල් අවධියේ ඌනතාව හරහා බිහි වී ඇත. හෙගල්ගේ සාරාත්මයේ ප්‍රපංච විද්‍යාව කෘතියෙන් කියවෙන්නේ මිනිස් විඥානය සියලු ම ආකාරයේ වැදගත් ස්ථාවරයන්, අවධීන් අනුභූතිමත් කරමින් ඒවා ඉක්මවා යමින් ගමනක නිරත වෙන බව ය. මෙසේ ගමනක නිරත වන්නේ එම අවධීන් තුළ තිබෙන ඒකපාර්ශ්වීය භාවය හා සීමිත භාවය ඉක්මවා යාම සඳහා ය. නව අවධියකට ප්‍රවේශ වූ විට මුල් අවධියේ අපරිණත බව හෙළිදරව් කෙරෙයි.
ගමනක් ලෙස ක්‍රියාත්මක වූ දයලෙක්තිකය විද්‍යාවක් ලෙස ක්‍රියාත්මක වීම සාරාත්මයේ ප්‍රපංච විද්‍යාවේ සිටතර්ක විද්‍යාව දක්වා ගමන් කිරීමේ දී සිදු වේ. දයලෙක්තිකය විද්‍යාවක් ලෙස හෙගල් සලකන විට මෙහි විද්‍යාව යන්න ස්වාභාවික විද්‍යාව යන්නට පාවිච්චි නො වේ. මෙහි ‘science’ යන්න ‘epistēmē’ නම් අර්ථය වෙනුවෙන් යෙදෙයි. සාරාත්මයේ ප්‍රපංච විද්‍යාව හෙගල්ගේ සමස්ත දාර්ශනික පද්ධතියට ලියන පෙරවදනකි. මෙම පද්ධතියේ අනෙක් කොටස වන්නේ තර්ක විද්‍යාව ය. මෙය මඟින් විස්තර වන්නේ යථාර්ථයේ සියලු ම දයලෙක්තික සබඳතාවන් ය.
[1] Absolute that it is essentially result, and that only at the end it is what is in truth. (Hegel 1977,11)
[2] සාරාත්මයේ ප්‍රපංච විද්‍යාව කෘතියේ මෙසේ ලියවී ඇත.
The spiritual alone is the actual; It is essence or that which has being-it-self; it is that which relates itself to itself and is determinate, it is other-being and being-for-itself, and this determinateness, or in its self-externality, abides within itself; in other words, it is in and for itself. – But this being-in-and-for-itself as at first only for us, or in itself, it is spiritual Substance. It must also be this for itself, it must be the knowledge of the spiritual, and the knowledge of itself as Spirit, i.e. it must be an object to itself, but just as immediately a sublated object, reflected into itself. (Hegel, 1977, 14)