රිතුපර්ණෝ ඝෝෂ් - රංගනවේදියා, චිත්‍රපට අධ්‍යක්‍ෂ හා විකල්ප ලිංගිකත්වය
(ආචාර්ය සෝමා ඒ. චැටර්ජි විසින් රචිත -‘Reading Rituparno’ නම් කෘතියේ එන ලිපියක් ඇසුරෙනි.)
👨 එම්.ඩී.මහින්දපාල
2022 ඔක්තෝබර් 18
Rituparno Ghosh
1.
“මෙය අභියෝගාත්මක ලොවකි. කිසිවක් ස්ථිරසාර නැත. අපගේ වස්තු, සම්පත්, ආදරය, අපගේ ඥාතීන්, එපමණක්ද නොව අපගේම ශරීරයන් පවා සදාකාලික හෝ ස්ථිර නොවේ. එසේ නම් ලිංගිකත්වය, අනන්‍යතාව වැනි සංකල්ප මෙතරම් තදින් අප වැළඳගෙන සිටින්නේ ඇයි? ඒවා මෙතරම් විශාල ගැටළු සේ අප සැලකිය යුත්තේ ඇයි?
‘චිත්‍රංගදා’ යනු අනන්‍යතාව පිළිබඳ තාගෝර් ගේ ගවේෂණයයි. එකී කෘතිය හරහා ප්‍රශ්ණ කෙරෙන්නේ ඇත්තටම අපි කවුරුන්ද? යන්නයි”
රිතුපර්ණෝ ඝෝෂ්
කෙනෙකුට තමාගේම ජීවිත කථාව ඇසුරෙන් චිත්‍රපට තිර රචනයක් කළ හැකිද?
ඇතැම්විට කෙනෙකුට එවැන්නක් කළ හැකිය. මේ පිළිබඳ රිතුපර්ණෝ ඝෝෂ් වැනි කලාකරුවකුට වඩා තවත් නිදසුනක් අවශ්‍යවේද? ඔහු දායකත්වය සැපයූ අවසන් චිත්‍රපට ත්‍රිත්වය තුළ එනම් ‘ආර් ඒක්ති ප්‍රේමර් ගොල්පෝ ’, ‘මෙමරීස් ඉන් මාර්ච්’සහ ‘චිත්‍රංගදා’ යන චිත්‍රපටවල නළුකම, සිනමාකරණය හා සිනමාකරුවා නම් වූ භූමිකා වෙන් වෙන් වශයෙන් හඳූනා ගත නොහැකි අන්දමින් එකිනෙක බැඳී පවතී යැයි හැඟේ. රිතුපර්ණෝ එකී චිත්‍රපට හරහා සිය ආත්ම ප්‍රකාශනය නොපැකිලිව, එමෙන්ම වඩාත් දැනුවත් භාවයකින් යුතුව ප්‍රේක්‍ෂකයා වෙත ගෙන එන බව පැහැදිලි වේ. ඒ හරහා සමාජය විසින් කොන්කරනු ලැබූ, හඳූනා නොගත් හා බොහෝවිට හාස්‍යයට හා අපහාසයට ලක් කළ මිනිස් කොට්ඨාශයක් හඳූනාගැනීමට අප යොමුකරවයි.
එනම්; සාම්ප්‍රදායික සමාජ සම්මතයන්හි එල්බගත් බහුතරයක් වෙත, පැහැදිලි ලිංගික අනන්‍යතාවයක් නොමැති, එසේත් නැත්නම් උත්පත්තියෙන් විකල්ප ලිංගික ඇල්මක් පෙන්නුම් කරන්නාවූ චරිත වටහා ගැනීමට අවකාශ සැලසීමයි.2.
සමාජ, සංස්කෘතිමය වෙනස්කම් විසින් ‘ආදරය ‘ නම්වූ අත්දැකීම, ලිංගිකත්වය හා පවුල් ජීවිතය යන්න මූලික වෙනසකට භාජනය කොට ඇත.
පිළිගත් ශික්‍ෂා පදයන්ගෙන් ව්‍යුක්ත ආකාරයකින් යම් යම් පුද්ගල චරිත, ඔවුන්ගේම ජීවිත පිළිබඳ පුවත්, තිර රචනා බවට හරවමින් සිටී. ඒ හරහා සාම්ප්‍රදායික සමාජ සබඳතා එනම් විවාහය, ආදරය හා බැඳීම් කෙරෙහි අභියෝගයක් එල්ල කරයි. එවන් පුද්ගල චරිත, ඔවුනවුන්ගේ ම ලෝකයක් ගොඩනඟා ගැනීමට උත්සුක වෙති. ‘ආදරය ’ යනු ඔවුන්ගේ ජීවිත තුළට අරුතක් ගෙන එන ප්‍රධානතම සංකල්පයයි.
රිතුපර්ණෝ ඝෝෂ් නම් තරුණ සිනමාකරුවා තමා උත්පත්තියෙන් ලැබූ ලිංගික අනන්‍යතාව ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළ අයෙකි. පිරිමියෙකු ගේ සිට ගැහැනියක දක්වා මුළුමනින්ම වෙනස් වීමට ඔහු අපොහොසත් වුවා වන්නට ඇත. එහෙත් අවසානය දක්වාම ඔහු කියාසිටියේ තමා අයත් වන්නේ තුන්වැනි ලිංගිකත්වයට (Third Sex) බවයි. මින් අදහස් වන්නේ ඔහු ‘පුජායාංගික’ (androgynous) හෙවත් ද්විලිංගික චරිතයක් සේ පෙනී සිටි බවයි.
මනෝවිද්‍යාව හා අදාල ශබ්දකෝෂයට අනුව ද්විලිංගිකත්වය යනු ස්ත්‍රී හා පුරුෂ ගතිලක්‍ෂණ එකට පවතින්නාවූ ශරීරයක් හා මනසක් සහිත චරිතයක් යන්නයි. වෙනත් වචනවලින් කියන්නේ නම් එවැනි පුද්ගලයෙකු තුළ සාම්ප්‍රදායික අර්ථයෙන් පිරිමි හෝ ස්ත්‍රී ලිංගිකත්වයක් මෙන්ම චරිතයක් ද නැත.
‘ද්විලිංගිකත්වය’ යන්න, පවතින සමාජ යථාර්ථයන්, එනම්; මේ ලෝකය ස්ත්‍රී, පුරුෂ හා එකී තත්වයන් හුවමාරු කරගත් තවත් සුළු පිරිසකගෙන් පමණක් සමන්විත වුවක් යැයි විශ්වාස කරන පිරිස් මෙන්ම සමාජ විද්‍යාඥයින්ද බලවත් අර්බුදයකට ලක් කරයි.
‘ලිංගිකත්වය වෙනස් කරගත්තවුන් (sex deviant) යන යෙදූම පවා එක්තරා ආකාරයකින් පීඩනය, කොන්කිරීම හා අපහාසයකට ලක්කිරීම පිළිබඳ ඉඟියක් සපයයි. මන්ද යත් කෙනෙකුට එවැන්නක් කැමැත්තෙන් සිදුකිරීමට හේතුවන්නේ සමාජය පැවැතිය යුත්තේ ස්ත්‍රී හා පුරුෂ යන දෙකොටසෙන් එකක පමණක් යැයි විශ්වාස කිරීම නිසාවෙනි. ‘ද්වි ලිංගිකත්වය’ යන්න මේ අනුව පවතින සමාජ සම්මතයන් අභියෝගයට ලක් කරයි. කිසියම් පුද්ගලයකු තුළ, පුරුෂ මූලික ගුණාංග, එනම් ස්වාධීන බව, ආත්ම විශ්වාසය, දැඩි බව වැනි පුරුෂ ලක්ෂණ මෙන්ම ස්ත්‍රී ගුණාංග එනම් සංවේදී බව, මෘදූ මොලොක් බව හා දරුවන් ඇති දැඩි කිරීමේ හැකියාව (nurturance) යන ද්විත්ව ලක්‍ෂණ පිළිබිඹු වීම සම්මත සමාජ සංදර්භයක් තුළ පිළිගැනීමට ලක්නොවේ.
ඇත්ත වශයෙන්ම ද්විලිංගික පුද්ගලයෙකු සම ලිංගිකයක (a homo sexual) වීමට හෝ නොවීමට ඉඩකඩ ඇති බැව් වටහා ගැනීම වැදගත් වේ. ද්වි ලිංගික මෙන්ම සමලිංගික පුද්ගල කණ්ඩායම්ද සමාජය විසින් කොන්කර දමා සිටින පිරිසකි. මේ දෙවර්ගයේම ගති ලක්‍ෂණ කිසියම් පුද්ගලයකු තුළ පිහිටන්නේ නම් එවැනි අය සමාජය තුළ වඩාත් ගැරහීමකට හා කොන් කිරීමකට ලක්වේ. එබැවින් තම තමන්ගේ ලිංගිකත්වය හා සිතිවිලි සමාජයෙන් සඟවා තබා ගැනීමට ඔවුනට සිදූවේ.
Reading Rituparno
3.
‘සම ලිංගික’නම් යෙදුම මුල්වරට කල එළියට පැමිණියේ ඕස්ටි්‍රයානු මනෝවිද්‍යාඥයකු 1887 දී කළ අධ්‍යයනයකදී බැව් කියැවේ.
කැරී ග්‍රාන්ට් (Cary Grant) නම් නළුවා 1939 දී තිරගත වූ ʹBringing Up Babyʹ නම් වූ චිත්‍රපටයේදී ‘Gayʹ නම් වූ වදන මුල්වරට භාවිතා කළේය.
අශෝක් රෝ කවී (Ashok Row Kavi) නම් අය ඉන්දියාවේ සමලිංගික ව්‍යාපාරයේ මූලාරම්භකයායි.
මේ අතර ʹLesbianʹ නම්වූ වදන පැමිණෙන්නේ ක්‍රි. පුර්ව 6 වන සියවසේ Lesbos නම් දූපතෙන් බැව් හෙළි වේ. ග්‍රීක කිවිඳියක වන Sapphos නම් අය එහි කාන්තා පාසැලක් පවත්වාගෙන ගිය බවත් ඇගේ බොහෝ කාව්‍ය රචනා කාන්තාවන් අතර ගොඩනැඟුණු ආදරය, හා ශාරීරික සබඳතාවන් පසුබිම් කරගත් ඒවා බවත් සඳහන් වේ. සපෝස් ද සමලිංගිකයෙකු බැව් හෙලිවූයේ ඇගේ මරණයෙන් බොහෝ කලකට පසුවයි. ලෙස්බියන් නම් යෙදූම මුලදී භාවිතා වූයේ ලේබෝස් හි වැසියා (An inhabitant of Lesbos) යන අරුත දැනවීමට වුවද පසුව එය කාන්තාවන් අතර වූ සම ලිංගිකත්වය අඟවන පදයක් බවට පත්විය.
හින්දූ දේවකථාවලට අනුව ‘ශිව’ හඳූන්වාදී ඇත්තේ ‘අර්ධනරීෂ්වර’ නමිනි. එහි අරුත ගැහැනු හා පිරිමි යන කොටස් දෙකකින් යුත් අයෙක් යන්නයි. එකී ලක්‍ෂණ වෙන වෙනම ඇති අතර,එය ශරීරය සිරස් අතට දෙකට බෙදූවිට එක් එක් කොටස එතුළ පිළිබිඹු වේ යැයි සැලකේ. ඉන්දියාව තුළ ‘අර්ධනරීෂ්වර’ යනුවෙන් සැලකෙන්නේ ද්විලිංගික (hermaphrodite), සමලිංගික, (homosexual) හා විරුද්ධ ලිංගිකත්වය අපේක්‍ෂා කරන (Transvestite) අය වැනි සියලු කොටස්වල එකතුවක් වශයෙනි.
ඈත අතීතයේ සිටම සමලිංගිකත්වය යන්න සමාජය තුළ පැවැති මුත් ප්‍රසිද්ධියේ එවැනි සබඳතාවයන් පැවැත්වීම දඬුවම් ලැබිය හැකි වරදක් සේ සැලකිණ.
ලිංගිකත්වය පිළිබඳ සාම්ප්‍රදාික ඉන්දියානු මූලාශ්‍රයක් වන ‘කාම සූත්‍රය’ තුළ පවා කාන්තාවන් දෙදෙනෙකු අතර ලිංගික හැසිරීමක් පවත්වා ගත හැකි ක්‍රමවේද පහක් පිළිබඳව සඳහන්වේ. එවැනි සබඳතාවන් රජ වාසල අන්ත:පුරයේ ස්ත්‍රීන් අතරද පැවැති බැව් වාර්තා වේ. මෙය පිළිබිඹු කළ රූප මාලාවක් වසර හත්දහසකට වඩා ඉපැරණි මධ්‍ය ප්‍රදේශයේ පන්ච්මාර්හි (Panchmarhi) ගුහාවල දැකගත හැකිවේ.
1974 දී ඇමෙරිකානු මනෝවෛද්‍ය සංගමය ‘සමලිංගිකත්වය’ යන්න රෝගයක් සේ සැලකීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් ඉන් පසුව ද සම ලිංගික ක්‍රියාකාරීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකිරීම අවසන් නොවීය.
ආජන්ටිනාවේ සමලිංගිකත්වය නීති විරෝධී නොවන මුත් තවමත් පොලිසිය එවැනි පිරිස් අත්අඩංගුවට ගනිමින් සිටින බව වාර්තාවේ.
චීනයේ හා දකුණු ආසියාවේ පමණක් දැනට සමලිංගික ස්ත්‍රී පුරුෂයින් මිලියන 100ක් පමණ වෙතැයි පැවසේ. ඔවුනගේ නිර්මාණාත්මක හැකියාවන් මේ වනවිටත් සියලු කලාමාධ්‍යයන් තුළ කල එළියට පැමිණෙමින් ඇත. වේදිකාව, මෝස්තර කලාව, සාහිත්‍යය වැනි සෑම කලා මාධ්‍යයකදීම මේ බැව් පැහැදිලි ලෙස දැකගත හැක.
මොනික් විටිග් (Monique Wittig) නම් න්‍යායාචාර්ය වරයා පවසන්නේ ලිංගිකත්වය යන්න පරපීඩනය, හා සූරා කෑම මත ගොඩනැඟුණු සංකල්පයක් බවයි. එහෙත් තුන්වැනි ලිංගිකත්වය (Third Sex) හෙවත් ගැහැනු හා පිරිමි ස්වභාවයන් එකම පුද්ගලයකු තුළ පැවැත්ම හරහා එවැනි තත්වයක් කිසිවිටෙකත් ඇති නොවන බව ඔහු පවසයි.
ලෝක සිනමාව තුළ පවා සාම්ප්‍රදායික නොවන ලිංගිකත්වයන් පිළිබිඹු වුයේ අතිශයින් බොළඳ, ඇතැම්විට කෲරතර දෘෂ්ටියකින් බැව් විටෝ රූසෝ නම් සමලිංගික ක්‍රියාකාරිකයා පවසයි. ඉතා තරුණ වියේදීම ඒඩ්ස් රෝගයෙන් මියගිය ඔහු විසින් රචිත ʹThe Celluloid Closetʹ නම් ග්‍රන්ථයේ මේ පිළිබඳ දීර්ඝ විග්‍රහයක් ඇතුලත්වේ.
ඉන්දියානු සිනමාව තුළද මෙකී තත්වයේ වෙනසක් දැකිය හැකි නොවීය. එහෙත් අද තත්වය දැනට දශකයකට පමණ පෙර තිබූ තත්වයට හාත්පසින්ම වෙනස් වූවකි. එකී වෙනස මුල්වරට පිළිබිඹු වූයේ ʹMy Brother Nikhilʹ නම්වූ චිත්‍රපටය තිරගත වීමත් සමඟිනි.
රිතුපර්ණෝ ඝෝෂ් ගේ සිනමා කෘතීන් විමසා බැලිය යුත්තේ මෙවන් පර්යාලෝකය සිටයි.
Chitrangada
මෙකී විෂයය ගැන සාකච්ඡා කිරීමේදී ʹAar Ekti Premer Galpoʹ, ʹ Memories in Marchʹ හා ʹChitrangadaʹ නම් වූ චිත්‍රපට ත්‍රිත්වය (Trilogy) විශේෂ වැදගත්කමක් පෙන්නුම් කරයි.
රිතුපර්ණෝ සිය සිනමාව හරහා නිරතුරුවම උත්සාහ කළේ සිය ආත්මය ප්‍රේක්‍ෂකයා ඉදිරියේ විවෘත කිරීමටයි. එය ද්විත්ව ලිංගිකයකුගේ ශරීරය හා චිත්ත අභ්‍යන්තරය විමසුමට ලක්කළ චාරිකාවක් මෙන් විය. තමා අයත් වන්නේ කුමන ලිංගිකත්වයටද යන්න වසර ගණනාවක් පුරා ඔහුගේ සිතට වද දූන් ගැටළුවක් වන්නට ඇත. අවසානයේ හෙතෙම තම සිතැඟි අනුව කටයුතු කිරීමට තීරණය කළේය. ඔහු පෞද්ගලික ජීවිතයේදී එසේ කලාක් මෙන්ම කලා ලොවේ සුප්‍රසිද්ධ පුද්ගලයකු ලෙසද සියල්ල විවෘත කළේය.
සියල්ල සිනමාත්මක භාෂාව තුළින් විදහා පෑම ඔහුගේ අභිලාෂය විය. මුලින්ම නළුවකු වශයෙන් ඔහු රඟපෑ, කවුෂික් ගංගුලිගේ ʹJust Another Love Storyʹ හා සන්ජේ නාග්ගේ ʹMemories in March’ මෙන්ම තමාගේම ʹChitrangadaʹ චිත්‍රපටයේදීද හෙතෙම මෙම විෂයය සාකච්ඡාවට බඳුන් කළේය.
‘ආර් එක්ති ප්‍රේමර් ගල්පෝ (2010) චිත්‍රපටය දිල්ලියේ සමකාලීන සුප්‍රසිද්ධ සිනමාකරුවකු වන අබිරූප් සෙන් (Abhiroop Sen) නම් අයගේ ජීවිතය අලලා නිර්මාණය වුවකි. අබිරූප් සෙන් ට‘දොරොති’නම් විදේශීය නිෂ්පාදිකාවක විසින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ආරාධනය කරනු ලබයි. එය චපාල් බාදූරී නම් අය පිළිබඳව කෙරෙන වාර්තා චිත්‍රපටයකි.
චිත්‍රපටයක් ඇතුලත චිත්‍රපටයක් සහිත මෙම කෘතිය තුළදී ප්‍රබලව සාකච්ඡාවට බඳූන් වන්නේ පිරිමි සමලිංගිකත්වය පිළිබඳ මාතෘකාවයි. චිත්‍රපටය කල්කටාවේදී රූගත කිරීමට නොහැකි වන්නේ මාධ්‍ය හරහා කෙරුණු ද්වේශසහගත ප්‍රචාරයන් නිසයි.
චපාල් බාදූරී යනු කලකට ඉහත බෙංගාලි වේදිකාව තුළ කාන්තා චරිත නිරූපණය කළ නළුවෙකි. මේ වනවිට ප්‍රේක්‍ෂයින්ට ඔහු පිළිබඳ කිසිදු හෝ මතකයක් නැත. මහළු වියේ පසුවන ඔහු කිසිවෙකුගෙන් හෝ පිළිසරණක් නොමැතිව අසරණ දිවියක් ගෙවයි. චපාල් බාදූරී, යනු පිරිමි ශරීරයක් තුළ ජීවත්වන ගැහැනියකි. එකළ සමාජය තුළ පැවැති දැඩි පීඩනය හේතුකොට ගෙන සිය ලිංගික ජීවිතය රහසක් ලෙස තබා ගැනීමට ඔහුට සිදූවේ. අබිරූප් නම් අධ්‍යක්‍ෂවරයා සිය සිනමා ඡායාරූප ශිල්පී බාසු සමඟ එකට ජීවත් වේ. හෙතෙම විවාහකයකු වන අතර ද්විලිංගික ආශාවන් සහිත අයෙකු ද වේ. සිය ලිංගිකත්වය මෙන්ම ඇඳූම් පැළඳූම්, වේශනිරූපණය වැනිදෑ නොසඟවා කල එළියට ගෙන ඒමත්, ඒ පිළිබඳව මාධ්‍යයන්හි කෙරුණු ප්‍රචාරයත් නිසා චිත්‍රපට කණ්ඩායමට එය කල්කටාවේ රූගත කිරීම නතර කිරීමට සිදූවේ. මෙහිදී ප්‍රංශයේ සිට සිය රටට පැමිණෙන වනසත්ව ඡායාරූප ශිල්පියෙකු වන ජිසූ සෙන්ගුප්තා නම් අය බිර්බුන් නම්වූ සිය ගම්පලාතේ ඇති තම මහගෙදර, රූගත කිරීම් සඳහා ලබාදීමට එකඟත්වය ප්‍රකාශ කරයි. මෙහිදී කාලය හා අවකාශය විස්මය ජනක ලෙස එකට ගැටීමක් සිදූවේ.
වයස අවුරුදූ 60 පමණ වන තෙක් චපාල් බාදූරී කල්කටාවේ මුඩුක්කුවක තනිවම ජීවත් වේ. ජීවත්වීම සඳහා හෙතෙම කෝවිල් හා පූජාස්ථාන වල ශිතාලා දෙව්දුව මෙන් ඇඳූම් පැළඳූම් වලින් සැරසී නිරූපණයේ යෙදේ. තම ආහාරපාන තනිවම උයා පිහා ගන්නා ඔහු හුදකලාව ජීවත් වේ. චපාල් බාදූරී , චපාල් රාණී එනම් චපාල් රැජිණ යනුවෙන්ද හැඳින්වේ. ඔහු සංචාරක නාට්‍යය වල කාන්තා චරිත නිරූපණය කළේය. ඔහු ජීවත් වන්නේද කථාබහ කරන්නේද ගැහැනියක් ආකාරයටයි. එහෙත් ඔහු පෙනී සිටින්නේ පිරිමියෙකු ලෙසයි.
එහෙත් ඉතිහාසය විසින් සාම්ප්‍රදාය වෙනස් කරනු ලබයි. කාන්තාවන් සිය නිවෙස් තුළින් එලියට බැස මුහුණු ආවරණ ගලවා දමා වෙදිකාවට ප්‍රවිශ්ට වීම ඇරඹේ. ඔව්හූ කාන්තා චරිත රඟපාන්නට පටන් ගනී. චපාල් බාදූරීට යන එන මං නැතිවේ. කරකියා ගත හැකි කිසිවක් නොමැති බැවින් චපාල් බාදූරී සිය ජීවිතයේ නව පිටුවක් පෙරලීමට උත්සාහ කරයි. පුජා ස්ථාන වල ශිතාලා දෙව්දූව ගේ චරිතය රඟපෑම ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
චපාල් බාදූරී ඇත්ත වශයෙන්ම ගැහැනියකි. එහෙත් එකී ස්ත්‍රීත්වය ඇත්තේ පිරිමි ශරීරයක් තුළයි.
චිත්‍රපටය තුළ අබිරූප් හා චපාල් යන දෙදෙනාගේම අභ්‍යන්තර චෛතසිකයන් හා සහසබඳතාවයන් එකිනෙක ගැටෙන අයුරු විදහා දැක්වේ. ලෝකය ඔවුනට පිහිට වීමට ඉදිරිපත් නොවේ. තම තනිකම හා පාලුව නැති කරගැනීමට දෙදෙනාම අරගලයක යෙදී සිටී. ඔවුනට තනිවම හඬා වැලපීම හැර වෙනත් විකල්පයක් නොමැත. ‘ආර් එක්ති ප්‍රේමර් ගල්පෝ ’ අපූර්වතම සිනමා නිර්මාණයකි. එය මිනිස් සබඳතාවන්ගේ මූලය ලෙස සැලකෙන ආත්මාර්ථකාමීත්වය පිළිබඳ කදිම ගවේශණයකි.
‘Memories in March’ (2011) නම් චිත්‍රපටයේදී ආර්ති මිශ්රා නම් කාන්තාව සිය විසි අට හැවිරිදි පුත්‍රයාගේ හදිසි අභාවයෙන් බලවත් කම්පනයට පත්ව සිටී. ඇය දිල්ලි නුවර සිට කල්කටාවට පැමිණ සිටින්නේ සිය පුත්‍රයාගේ අවසන් කටයුතු ඉටුකර ඔහුගේ පෞද්ගලික බඩු භාණ්ඩ රැගෙන යාමටයි.
සිද්ධාර්ත් නම් වූ සිය පුත්‍රයා වාසය කළ ස්ථානයේ බලවත් සිත් තැවුලෙන් රැඳී සිටිනා ඇයට දැනගැනීමට ලැබෙන්නේ සිය පුත්‍රයා සමලිංගිකයකු වශයෙන් ජීවත්වී ඇති බවයි. හෙතෙම තමා රාජකාරී කළ වෙළඳ දැන්වීම් ආයතනයේ නිර්මාණ අධ්‍යක්‍ෂවරයා සමඟ එවැනි සබඳතාවයක් පැවැත්වූ බව දැනගන්නා ඇය ඉමහත් කම්පනයකට ලක්වේ. පුත්‍රයා ගේ ජීවිතය පිළිබඳව මවගේ ගවේෂණය ඇසුරෙන් චිත්‍රපටය විකාශණය වේ. ඇය සිය පුත්‍රයා පරිහරණය කළ සියලු දේ ඔහුගේ මිතුරන් අතරේ බෙදාදී හිස් අතින් දිල්ලිය බලා ගමන් කරයි. සිය පුත්‍රයාගේ පෞද්ගලික වස්තුවට වඩා වැඩි යමක් ඇය රැගෙන යන බව සිනමා කෘතිය හෙළිකරයි.
‘චිත්‍රාංගදා’ (2012) චිත්‍රපටය, රිතුපර්ණෝ ඝෝෂ් විසින් රබීන්ද්‍රනාත් තාගෝර් ගේ 150 වන ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් රචනා කොට අධ්‍යක්‍ෂණය කළේ බෙංගාලි මහා කවියාට උපහාරයක් ලෙස යැයි කියැවේ.
රුද්‍රාජිත් චැටර්ජි යනු නිර්මාණශීලී දක්‍ෂ නර්ථන ශිල්පියෙකි. හෙතෙම තාගෝර්ගේ ‘චිත්‍රාංගදා’ නම් නිර්මාණය නව අර්ථකථනයක් සහිතව නිෂ්පාදනය කිරීමට උත්සාහ ගනී. ‘චිත්‍රාංගදා’ හි එන ‘මදනා’ හෙවත් ආදරයේ දෙව්දූව නම් චරිතය වෙනුවට මෙම චිත්‍රපටයේ මනිපූර් රාජකුමාරිකාවක් හැඩවැඩ කිරීමට උත්සාහ කරන රූපලාවන්‍ය විශේෂඥයෙකු ගේ චරිතයක් ඉදිරිපත් වේ.
මනිපූර් හි සිටින අර්ජුන නම් අතිශය කඩවසම් කුමාරයාගේ සිත් වශී කරවන අන්දමේ රූපයක් ලැබීමට කුමාරිකාවට අවශ්‍ය වී ඇත. ඇගේ සමහර පිරිමි ශරීර ලක්‍ෂණ අකා මකා දැමීම මෙම උත්සාහයේ අරමූණයි.
රුද්‍රා සමලිංගිකයෙකි. ඔහුට අවශ්‍යව ඇත්තේ ස්ත්‍රී ශරීරයක් ලබාගැනීමටයි. ඔහු නාට්‍ය කණ්ඩායමේ ඉන්නා තරුණ ගැටයකු සමඟ හාදවේ. දැන් නාටකයට වඩා වැදගත් වී ඇත්තේ ලිංග විපර්යාසයක් ඇතිකර ගැනීමේ ක්‍රියාන්විතයයි. එබැවින් නාට්‍යය පුහුණු කිරීමට වඩා විවිධාකාර වූ ශල්‍යකර්මයන්ට භාජනය වීමට රුද්‍රාට සිදූවේ.
ඉන්දියානු සිනමා කෘතියක ලිංග පෙරළියක් සඳහා සිදූකෙරෙන ශල්‍යයකර්ම මාලාවක් මෙතරම් විවෘතව පිළිබිඹු කළ ප්‍රථම අවස්ථාව එයයි. රුද්‍රා ගේ පෙම්වතා දරුවකු හදාවඩා ගැනීමට කැමැත්තෙන් සිටී. එහෙත් ඉන්දියානු නීති පද්ධතියට අනුව එකම ලිංගිකත්වය ඇති දෙදෙනෙකුට දරුවකු හදාවඩා ගැනීම නීති විරෝධී වේ. රුද්‍රා ලිංග විපර්්‍යාසයක් කර ගැනීමට උත්සාහ ගන්නේ එබැවිනි.
තමා ගැහැනියක් බව ඇඟවීම, නීතියෙන් ගැලවීමට ඇති එකම මාර්ගය වී ඇත. මෙවැනි දුෂ්කර ශල්‍යකර්ම මාලාවකට රිතුපර්ණෝ ද සිය පෞද්ගලික ජීවිතය තුළ මුහුණ දී ඇත. එබැවින් සිනමා කෘතිය තුළ එය නිරූපණය කිරීම වඩාත් විශ්වසනීයත්වයක් පිළිබිඹු කරයි.
මෙකී චිත්‍රපටය තුළින් ප්‍රකාශ වන්නේ කුමක්ද? එය නම්, අපි ඇත්තටම කවුද? යන්න බව රිතුපර්ණෝ ගේ අදහසයි.
මෙම චිත්‍රපටයට එරෙහිව නැඟුණු විරෝධතා හා විවේචනයන්ගේ හරය වුයේ මෙකී අදහස කීමට තාගෝර්ගේ කථාව ඈ`දා ගැනීම වරදක් ය යන්නයි. රිතුපර්ණෝගේ ප්‍රකාශය තාගෝර්ගේ කෘතිය තුළ පැටලවීම වරදක් බැව් කියැවිණ.
“මගේ සිනමාව හරහා සුවිශේෂී ලකුණක් තැබීමට මට හැකි විය. එහෙත් එය සිතා මතා සිදූවූ දෙයක් නොවේ. ඇතැම්විට ලිංගිකත්වය සම්බන්ධයෙන් මා තුළ පවතින අදහස් උදහස් එයට හේතුවන්නට ඇත. මම සිටිය යුත්තේ පිරිමින්ගේ පෝලිමේද? නොඑසේ නම් ගැහැනු පෝලිමේදැයි තීරණය කළ යුත්තේ මා විසින්මයි. ”
රිතුපර්ණෝ ඝෝෂ්