හෙගලියානු-මාක්ස්වාදයක් කරා

පළමු කොටස- හෙගලියානු චින්තනයේ දේශපාලනික අදාළත්වය​

2022 පෙබරවාරි 5

අදහසේ භෞතිකය

යම් පුද්ගලයකු තවදුරටත් සමාජ ව්‍යාපාර ගැන සිතනවා නම් ඔහු හෝ ඇය හෙගල් අධ්‍යයනය කළ යුතු ය. සමාජ ව්‍යාපාර මට්ටමින් ඔබ්බට ගොස් සමාජ වෙනසක් ගැන සිතනවා නම් ඔහු හෝ ඇය හෙගල් වඩාත් හොඳින් ග්‍රහණය කර ගත යුතු ය. එමෙන් ම යමෙකුට යම් අවකාශයක් තුළ අදහසක් රෝපණය කිරීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය හෙගල් අධ්‍යයනය කළ යුතු ය. මෙවැනි කටයුතුවල දී ඔබව මෙහෙයවන දාර්ශනිකයකු සිටී නම් ඒ හෙගල් ය.

දාර්ශනිකයකු වශයෙන් හෙගල්ගේ විෂය ක්‍ෂේත්‍රය වන්නේ අදහස් හා සංකල්පයන් ය. නමුත් හෙගල්ට අනුව අදහස් යනු යමෙකුගේ හිස ඇතුළේ ඇති හුදු සංකල්පීය අන්තර්ගතයක් නොවේ. හෙගල් සංකල්ප හා අදහස් හඳුනා ගන්නේ මනුෂ්‍ය සමාජ ක්‍රියාකාරකම්වල ආකෘතීන් ලෙසට ය.(forms of human social activities). අදහස් පවතින්නේ, මනස් පෙට්ටගම්වල තැන්පත් වී හෝ ගුවනේ ලඹ දෙමින් නො වේ. අදහස් පවතින්නේත් ජීවත් වන්නේත් මනුෂ්‍ය ප්‍රජාවන්හි ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළ ය.

අදහස් පවතින්නේ මේ ක්‍රියාකාරකම්වල ආකෘතීන් ලෙසට ය. මිනිසුන් යම් ක්‍රියාකාරකමක නිරත වෙන විට ඒ හා සමඟ බැඳුණු නිශ්චිත විඥානයක් හෝ අදහස් රටාවක් පවතින අතර ඒවා එම නිශ්චිත ක්‍රියාකාරකමෙන් වෙන් කළ නොහැකි ය. නිරුවත් පාෂාණයක් මතින් නිර්මාණාත්මක පිළිමයක් මතු කර ගැනීමට උත්සාහ ගන්නා ශිල්පියෙකු ක්‍රියාත්මක වෙන්නේ නිශ්චිත අදහසක් පාෂාණය හරහා සාක්ෂාත් කරගැනීමට ය. මේ අනුව පුද්ගලයෙකුගේ විඥානයට අසම්බන්ධිත ව පවතින චර්යාවක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ජීවමාන ක්‍රියාකාරකමක් නො වේ. එමෙන් ම යම් ක්‍රියාවක් හරහා පරම වශයෙන් අදහසක් මතු වන්නේ නැත් නම් එම අදහස මිරිඟුවකි. එවැනි අදහස් වලට සැබෑ පැවැත්මක් නැත.

හෙගල් අදහස් සමඟ ගනුදෙනු කරන්නේ අනුභූතිවාදියෙකු ලෙස නො වේ. එමෙන් ම ඔහුට අනුව අදහස් වනාහි මනෝවිද්‍යාත්මක වස්තූන් නො වේ. ඔහු අදහස් සමඟ ගනුදෙනු කරන්නේ තාර්කික ආකාරයට ය. නමුත් ඔහුගේ තර්කවිද්‍යාව සම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය නො වේ. හෙගල් සිතිවිලි හෝ අදහස් ගැන කථා කිරීමේ දී ඇත්ත වශයෙන් ම ඔහු මතු කරන්නේ භාවිතයේ ආකෘතීන් ය. මේ අනුව හෙගල්ගේ තර්කවිද්‍යාව සමාජ ක්‍රියාකාරීත්වයේ තාර්කික ව්‍යුහය ගැන විද්‍යාවකි.

චින්තන ආකෘතීන් උත්පත්තිය ලබන්නේ අපගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළිනි. නමුත් අපගේ සාමාන්‍ය විඥානයට වැටහෙන්නේ මේ චින්තන ආකෘතීන්ට එවායේ ම වූ පැවැත්මක් තිබෙනවා ලෙසට ය; ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් ස්වාධීන ව පවත්නා ඒවා ලෙසට ය. සරලව කීවොත් සිතිවිලි හෝ චින්තනය යනුවෙන් අදහස් වන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකම්වල ධර්මතාවන් ය (norms of human activities). හෙගල්ගේ තර්කවිද්‍යාවේ විෂය ක්‍ෂේත්‍රය වන්නේ මනුෂ්‍ය ක්‍රියාවන්හි ධර්මතාවන් ය; පරමාදර්ශී වස්තූන් ය (ideal objects). හෙගල්ගේ තර්කවිද්‍යාවේ සාකච්ඡාවට ගැනෙන්නේ සැබෑ වස්තූන් හෝ ඒවායේ සැබෑ චලනයන් නො වේ. ඔහුගේ සාකච්ඡාව අනුභූතික දත්ත, භෞතික විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක වස්තූන් ගැන නො වේ. මිනිස් ක්‍රියාකාරකම්වල වෙනස් වනසුලු ධර්මතාවන්ට හෙගල් දුන් නාමය වූයේ චින්තනය (thought) යන්න ය. දෙන ලද තත්ත්වයක මිනිස් ක්‍රියාකාරකම් අවබෝධ කර ගැනීම යනුවෙන් අදහස් කරන්නේ යම් කිසි වස්තුවක් කාලය හා අවකාශය තුළ භෞතික වශයෙන් චලනය වන්නේ කෙසේ ද යන්න නො වේ. ඒ වෙනුවට මේ ක්‍රියාකාරකමේ දී මිනිස් සංජානනය තුළ සිදු වන ධර්මතාවන් ගැන හෙගල් සැලකිලිමත් වේ. ධර්මතාවන් යනු යම් ක්‍රියාකාරකමකට ආfවේණික පරම ඥානයකි; ක්‍රියාවක පරමාදර්ශී (Ideal) නිරූපණයකි. යම් ක්‍රියාවක් ඉදිරියට ගෙන යන ආවශ්‍යක බලවේගය ලෙසට ය චින්තනය ප්‍රකාශයට පත් වන්නේ. එමෙන් ම ධර්මතාවන් ද්‍රව්‍යමය වස්තුවේ ආකෘතිය ද වේ; මිනිසා විසින් ගොඩනගන ලද වස්තූන්හි ආකෘතිය ද වේ. හෙගල්ගේ ම උදාහරණයක් දැක්වුවොත් උපකරණය යනු ශ්‍රමයේ ධර්මතාවන් ය (the tool is the norm of labour). චින්තනය යනු යම් ආකාරයක ද්‍රව්‍යමය හෝ ආධ්‍යාත්මික සාරාර්ථයක් නො වේ.

ධර්මතාවන් ඕනෑ ම දෙන ලද සංස්කෘතියක මනුෂ්‍ය ක්‍රියාකාරකම් චරිතවත් කරයි. හෙගල් හොඳින් ම දැන සිටි කාරණයක් වූයේ මේ ධර්මතාවන්ගේ ක්‍රියාකාරිත්වය ය. මේ ධර්මතාවන් අපි ග්‍රහණය කර ගන්නේ සංකල්පයන් ලෙසට ය. හෙගල් මෙම සංකල්පයන්ට ප්‍රවේශ වන්නේ සංකල්පයන් තාර්කික විචාරයකට ලක් කරන්නෙකු ලෙසට ය. මෙහි දී හෙගල් පෙන්වා දෙන කාරණයක් වන්නේ සෑම සංකල්පයක් ම එක්තරා මොහොතක දී විසංවාදයන්ට යොමු වන බවත් මේ විසංවාදයන් හා සංකල්පයන්ගේ සීමාවන් හරහා නව සංකල්පයන් උපදින බවත් ය. සමාජ වෙනසක් විද්‍යාත්මක ව අධ්‍යයනය කිරීම තර්ක විද්‍යාත්මක රූපයක් ගන්නා බව හෙගල්ගේ මතය ය. සංකල්පයන් භෞතික ලෝකයට සම්බන්ධ අතර සංකල්ප විචාරය කිරීම යනු භෞතික ලෝකය විචාරය කිරීමක් ද වේ. මේ අනුව හෙගල් විඥානවාදියෙකු වුව ද භෞතික ලෝකය ගැන සංකල්පගත කරන චින්තකයෙකි.

මේ අර්ථයෙන් ය හෙගල් වනාහි සමාජය වෙනස් කිරීමේ ක්‍රියාකාරකමකට අදාළ දාර්ශනිකයකු වන්නේ.
​​

සමාජ ව්‍යාපාර සඳහා හෙගල්

තර්කවිද්‍යාව කෘතිය හෙගල් සමාජ ව්‍යාපාර පිළිබඳ දාර්ශනිකයකු බවට පත් කළේ ය. හෙගල්ගේ තර්ක විද්‍යාව සමාජ වෙනසේ තර්කණය හෙළිදරව් කරන්නකි. මේ කෘතිය මඟින් අප යොමු කරන්නේ පරිවර්තනයේ දේහ විද්‍යාව දිශාවට ය. සංකල්ප හා එයට අනුරූප සමාජ ක්‍රියාවන්ගේ ආකෘතීන් එළියට එන්නේ අදහස ලෝකය තුළ සාක්ෂාත් වන ආකාරයට අනුකූල ව ය. අනෙක් අතට හෙගල්ගේ තර්කවිද්‍යාව ලෝකයේ ඇති සංයුක්ත, යථාර්ථවත් ප්‍රශ්න සමඟ සම්බන්ධිත අතර ඒවායින් වෙන් කළ නොහැකි ය.

හෙගල් ජීවත් වූයේ 1770-1831 කාලයේ දී ය. දළ වශයෙන් මේ කාලය බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය සිදු වූ කාලයට අනුරූප ය. මේ කාලයේ සිදු වූ තවත් සැලකිය යුතු ව්‍යාපාරයක් වූයේ වහල්භාවය මුලිනුපුටා දැමීමට සමාජ ව්‍යාපාරයන් ක්‍රියාත්මක වීම ය. 17 වන ශතවර්ෂයේ මැද භාගය වන විටත් ඇමරිකාවේ වහල් ශ්‍රමය පාවිච්චි වූ අතර වහල් වෙළඳාම ද සිදු විය. මේ වහල් ශ්‍රමය විශේෂයෙන් ම උක් වගාව තුළ දී දරුණු ආකාරයට සූරාකන ලද අතර යුරෝපියානු ධනපති පන්තියේ ධනය වර්ධනය වූයේ මේ වහල් ශ්‍රමය සූරාකෑමෙන් ය. නාවික බලය ඉහළින් පැවතුණු යුරෝපීය ජාතීන් වූ බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය, බෙල්ජියම, ඩෙන්මාර්කය මේ වහල් වෙළදාම් කටයුතුවල දී ප්‍රධාන භූමිකාවක් ඉටු කළහ. ජර්මනියේ විශේෂත්වය වූයේ ඉහත සඳහන් කළ ජාතීන් සමඟ ව්‍යාපාර සබඳතා පවත්වා ගෙන යාම ය. මේ නිසා ම වහල්භාවය ජර්මනියේත් ප්‍රධාන මාතෘකාවක් විය. එමෙන් ම එය සමාජ ගැටලුවක් ද විය. ජර්මනියේ බුද්ධි ප්‍රබෝධ චින්තකයෝ තමන්ගේ ම ධනපති පන්තිය සැබෑ වහල් ක්‍රියාවකට සම්බන්ධ ව සිටිනවා ය යන්න ගැන අවිඥානක වූහ. මේ වහල් ශ්‍රමය පාවිච්චි කර ජර්මනියේ ධනපති පන්තිය සිය ප්‍රාග්ධනය ගොඩනගා ගෙන තිබෙනවා ය යන කාරණය ගැන ඔවුහු නො දැන සිටියහ. මේ වෙළඳ ප්‍රාග්ධනය අවසන් වශයෙන් විස්ථාපනය වූයේ 19 වන ශතවර්ෂයේ මැද භාගයේ කාර්මික ප්‍රාග්ධනය මඟින් ය.

1794 දී නාමික වශයෙන් ප්‍රංශය තුළ වහල් ශ්‍රමය අහෝසි කළත් 1802 දී නැපෝලියන් විසින් ප්‍රංශ යටත් විජිත තුළ දිගට ම වහල් ශ්‍රමය පවත්වා ගෙන ගියේ ය. 1861 පමණ වන තෙක් ඇමරිකාව තුළ වහල් ශ්‍රමය පවත්වා ගෙන ගියේ ය. වහල්කරණය මුලිනුපුටා දැමීමේ සාර්ථක ව්‍යාපාරයක් හට ගත්තේ හයිටි රාජ්‍යයේ ය. හයිටි වහල් කැරැල්ල වනාහි ලෝක ඉතිහාසයේ සාර්ථක ආකාරයට ජය ගත් වහල් කැරැල්ලකි. මේ වහල් කැරැල්ලට නායකත්වය දුන්නේ ටුසාන් ලුවාටුවර් (Toussaint Louverture) හෙවත් කලු ස්පාටකස් හා ජොන් ජැක් ඩිසැලින් ය (Jean Jacues Dessalines) 2 මේ දෙදෙනාගේ නායකත්වය යටතේ ප්‍රංශ හමුදා පරාජයට පත් කළ අතර 1805 දී හයිටිය සිය ස්වාධීනත්වය ස්ථාපිත කර ගත්තේ ය. එමෙන් ම ඔවුහු ව්‍යවස්ථානුකූල ජනරජයක් පිහිටුවා ගැනීමට සමත් වූහ. වහලුන් විසින් මුල් වතාවට අරගලයක් ජය ගෙන තමන්ගේ ම වූ රාජ්‍යයක් ගොඩනගා ගන්නා ලදි. මෙහි වඩාත් සිත් ඇද ගන්නාසුලු කාරණයක් වූයේ ප්‍රංශ විප්ලවයේ ආදර්ශය ලබමින් ප්‍රංශයට එරෙහි ව අරගල කරමින් හයිටියේ වහලුන් තම රටේ විප්ලවයක් කිරීම ය. මෙම කැරැල්ල සමඟ වහල් අයිතිකාරයන් අතර භීතියක් ජනනය වූ අතර සෑම තැනක ම වහලුන් තමන් හා සම වීම හෝ තමන් ඉක්මවා යාමට ඉඩක් ඇත ය යන භීතිය පැතිර ගියේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අප්‍රිකානුවන් බුද්ධි ප්‍රබෝධයේ සාර්වත්‍රික මානවවාදී ප්‍රවර්ගයන්ගෙන් ඉවත් කිරීමේ වර්ගවාදි මිථ්‍යාවන් ද හට ගත්තේ ය. හයිටියානුවන් අරගල කළේත් කැරලි ගැසුවේත් නිදහස හෝ මරණය යන සටන් පාඨය යටතේ ය.

හෙගල් තමන්ගේ මුලුමහත් ජීවිතය පුරා පුවත්පත් කියවීමේ ලොල් බවින් සිටියේ ය. එමෙන් ම ඔහු ප්‍රගතිශීලී සඟරා කියවූ අතර දේශපාලන කාරණාවන් සම්බන්ධයෙන් ක්‍රියාකාරී ආකාරයට මත ඵල කළේ ය.
ඔහු ජර්මානු භාෂාවෙන් ප්‍රකාශනයට පත් වූ Minerva සඟරාවට සම්මාදම් කළ අතර මේ සඟරාව හරහා හයිටියේ සිදු වන වහල්කරණයට එරෙහි කැරැල්ල ගැන තොරතුරු ලබා ගත්තේ ය. මේ තත්වයන් තුළ වහල්කරණ ක්‍රියාවලියට ජර්මනියේ ඇති සහභාගීත්වය සාමාන්‍ය වශයෙනුත් හයිටි විප්ලවයට ජර්මනියේ ඇති මැදිහත් වීම ගැන විශේෂ වශයෙන් සාකච්ඡා වෙමින් පැවතිණි. හයිටි විප්ලවය සිදු වූයේ හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතිය ලියන කාලයට අනුරූප ව ය.

හෙගල්ගේ අදහස වූයේ වහලුන්ට නිදහස ලැබෙන්නේ තමන්ගේ ම වූ අරගලයකින් බව ය. හෙගල් මේ ස්වයං-විමුක්තිය ‘නිදහස හෝ මරණය’ නම් සටන් පාඨය යටතට ගත්තේ ය. යුරෝපියානු නො වන රටවල් හා ජාතීන් සම්බන්ධයෙන් හෙගල්ගේ ප්‍රවේශය වාර්ගික අගතීන්ගෙන් ආසාදනය වී තිබුණත් වහල්භාවය පිළිබඳ කාරණයේ දී හෙගල් අතිශයින් ප්‍රගතිශීලී විය. ඔහුගේ සාමාන්‍ය දාර්ශනික ප්‍රවේශය එකකින් පසුව එන ක්‍රමානුකූල වර්ධනීය (gradualist) එකක් වුවත් හයිටියේ වහලුන්ට කැරැල්ලක් හරහා විමුක්තිය ලබා ගත හැකි බවත් විමුක්තිය ලබන වහලුන්ට සමුහාණ්ඩුවක් පිහිටුවා ගත හැකි බවත් හෙගල්ගේ අදහස විය. එමෙන් ම වහලුන් විසින් තමන් වහලුන් බවට පත් කර ඇති නීති කැඩීම වරදක් නො වන බව හෙගල්ගේ මතය විය.

හයිටියානුවන් ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ නූතනත්වයේ වාසි භුක්ති වින්දේ නැත. හෙගල් වහල්භාවය සම්බන්ධයෙන් සිය මතයේ වැඩි කොටසක් ඉදිරිපත් කරන්නේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ නො ව යුක්තියේ දර්ශනය කෘතියේ ය.

හෙගල්ගේ ජීවිත කාලය තුළ සිදු වූ අනෙක් ප්‍රබල දේශපාලන සිදු වීම වූයේ ප්‍රංශ විප්ලවය ය. හෙගල් සෙමනේරියේ ශිෂ්‍යයකු ව සිටිය දී එම ස්ථානයට සැතපුම් 400 කට එපිටින් විප්ලවයේ රළ වේගය මෝදු වෙමින් පැවතිණි. හෝල්ඩරිං හා ෂෙලිං හෙගල්ගේ යහළුවන් වූහ. 1968 ශිෂ්‍ය සටන සමඟ ප්‍රංශයේ සහ ජර්මනියේ දාර්ශනික මතවාදයන් විප්ලවීය ඒවා බවට පරිවර්තනය වූවා සේ රුසියානු විප්ලවය හමුවේ බොහෝ රටවල දර්ශනවාදයන් තුළ විප්ලවීය ගිනි පුළිඟු දැල්වුණා සේ ප්‍රංශ විප්ලවය නිසා ප්‍රංශය තුළත් ජර්මනිය තුළත් දාර්ශනික විප්ලවයන්ට පාර කැපිණි.

නැපෝලියන් විසින් විප්ලවයක් කරන බවත් නැපෝලියන්ගේ හමුදාවන් ජර්මනිය එක්සත් කිරීමේ කර්තව්‍යය කරනු ඇති බවත් හෙගල්ගේ මතය විය. කෙසේ නමුත් නැපෝලියන් පරාජය වූ අතර 1815 වියානා කොන්ග්‍රසයෙන් පසු ප්‍රසියානු කයිසර් රජු ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් පිහිටුවන බවට පොරෙන්දු විය. ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුව පිළිබඳ අදහස හෙගල් තමන්ගේ 1817-18 දේශනවල සඳහන් කර තිබුණු අතර යුක්තියේ දර්ශනය (Philosophy of Right) වශයෙන් ප්‍රකාශයට පත් වූයේ මෙය යි.

​මේ කෘතිය වනාහි හෙගල්ගේ ජීවිත කාලය තුළ ප්‍රකාශයට පත් වූ අවසන් ප්‍රධාන කෘතිය ය. කෙසේ නමුත් කයිසර්ගේ පොරොන්දුව ඉටු නො වුණු අතර පුවත්පත් වාරණයක් ප්‍රකාශයට පත් විය. මෙයින් හෙගල් යොමු වූයේ ජර්මනියේ ඊනියා නූතනකරණය නැවත සිතා බැලිය යුතු ය යන මතයට ය. හෙගල් ප්‍රංශ විප්ලවය විශ්ලේෂණය කරමින් පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ ‘Absolute Freedom and Terror’ නම් කොටස ලීවේ ය. විප්ලවයේ නාමයෙන් පුද්ගල මිනිස් ජීවිත ශූන්‍යත්වයට වැටුණේ යැයි හෙගල් කියා සිටියේ ය. විප්ලවීය ත්‍රස්තයේ දී සිදු වූයේ පැරණි සමාජයේ පැවතුණු සියලු බලකණු පෙරළා දැමීමත් බොහෝ පුද්ගලයන්ගේ ජීවිත කෙළවර වීමත් ය. හෙගල් දුටු ආකාරයට විප්ලවය ඛේදවාචකයක් වූයේ වියුක්ත දාර්ශනික සංකල්පයන් ඉහළ සිට පැනවීම නිසා ය.

1819 පමණ වන විට හෙගල් බලාපොරොත්තු සුං වූ තත්ත්වයට පැමිණ සිටියේ ය. නූතන එක්සත් ජර්මනියක බලාපොරොත්තුව බිඳ වැටී තිබිණි. විප්ලවීය අදහස ඉහළින් එබ්බවීම සම්බන්ධයෙන් ඔහු විචාරාත්මක වීමට පටන් ගත්තේ ය. මෙයින් ඔහු යොමු වූයේ කුඩා ආකාරයේ රාජ්‍යයන්ට සහ ඓන්ද්‍රීය වර්ධනය පිළිබඳ අදහසට ය. ඔහු කිසිදු ආකාරයක මනෝරාජිකවාදයකට හෝ පරම රාජ්‍යයක් ඉහළින් පහළට පැනවීම සම්බන්ධයෙන් එකඟ වූයේ නැත. සමාජ වෙනස සාක්ෂාත් කර ගත යුත්තේ ඓන්ද්‍රීය ආකාරයකට බව ඔහුගේ මතය විය. ජර්මනියේ නව රාජ්‍යයක් ඇති වන්නේ සමාජ ව්‍යාපාරයකින් බවත් එය විදේශ හමුදාවක මැදිහත් වීමකින් හෝ වාසනාවන්ත පාලකයා අතින් සිදු නො වන බව ඔහුගේ මතය විය.

හෙගල් තමන්ගේ කාලයේ එංගලන්තයේ වර්ධනය වෙමින් පැවතුණු සමාජ හා දේශපාලන වර්ධනයන් සම්බන්ධයෙන් ඉතා මත් සමීප ව අධ්‍යයනය කළේ ය. ඔහු ඇඩම් ස්මිත් හා ජේම්ස් ස්ටුවට් මිල්ගේ දේශපාලන ආර්ථික විද්‍යාවන් හැදෑරූ අතර ඉංග්‍රීසි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයන්ට සහ ඉංග්‍රීසි සඟරාවලට ආධාර කළේ ය. එමෙන් ම ඉංග්‍රීසි සඟරාවල පළ වූ මේ හා සම්බන්ධ අදහස් සම්බන්ධයෙන් විචාරාත්මක විය. කාර්මික විප්ලවයේ වර්ධනය සහ එයින් ඇති කළ සමාජ කම්පනයන් සම්බන්ධයෙන් ද සංවේදී විය.

මේ කාලයේ දී ජර්මනියේ කාරමිකරණය තව මත් පැවතුණේ කලලමය අවස්ථාවක ය. හෙගල්ට අනුව කර්මාන්තශාලා තුළ වැඩ කිරීම අවමානුෂීය කටයුත්තක් විය. සාම්ප්‍රදායික ව පැවතුණු වැඩ හා ශිල්ප ශ්‍රේණි, කර්මාන්ත පද්ධතීන් මඟින් විනාශ කර දමන ලදි. කාර්මික ක්‍රමය තුළ ම මතු වූ වෘත්තීය සමිති ව්‍යාපාර ගැන දැනුවත් වීමට තරම් කාලයක් හෙගල් ජීවත් වූයේ නැත. එමෙන් ම සමාජවාදී විප්ලවීය ව්‍යාපාර හා ශ්‍රම ව්‍යාපාර බිහි වුණු විට හෙගල් මිය ගොස් තිබිණි. මේවා වර්ධනය වූයේ 1840 දශකයෙන් පසුව ය.

ජාතික අරගල යුරෛා්පයේ ආවේණික වශයෙන් වර්ධනය වූ අතර හෙගල් දැරූ ඉතා මත් විප්ලවීය අදහසක් වූයේ විදෙස් බලයක් මගින් යම් ජාතියකට හෝ රාජ්‍යයකට බලපෑම් කිරීමේ දී ඒ බලපෑමට යටත් ව සිටින ජාතීන්ට තමන්ට ඉහළින් පනවන නීති කැඩීමේ පූර්ණ අයිතියක් ඇත යන්න ය. සෑම මිනිසෙකුටම ස්වයං-නිර්ණ අයිතියක් ඇත. මිනිසා සිය නිදහස වෙනුවෙන් මරණය තෝරා ගැනීම ප්‍රගතිශීලි ය.

හෙගල් මෙහි දී පීඩිත වහල් අප්‍රිකානු මිනිසාගේ ස්වයං-විමුක්තිය වැඩ කරන පන්තිය විසින් බුෂුවා පන්තිය පරාජය කර සමාජවාදය පිහිටුවීමේ ක්‍රියාවලිය හා සමාන ව ගෙන නැත. මාක්ස්ට අනුව රාජ්‍යය යනු එක් පන්තියක් තවත් පන්තියක් මත බලය පවත්වා ගෙන යාමේ උපකරණයකි. බුෂුවා රාජ්‍යය ඊට ආවේණික ලෙස ම පරාරෝපිත හා කම්කරුවන්ට හතුරු තැනක පිහිටයි. හෙගල් මෙයට වෙනස් ව කියා සිටියේ රාජ්‍යය යන්න අවශ්‍යයෙන් ම සාර්වත්‍රික එකක් බව ය. හෙගල්ගේ කාලයේ වැඩ කරන පන්තිය සංවිධානය වී සිටියේ ශ්‍රේණි වශයෙනි (guilds). මේ ශ්‍රේණි තුළ ස්වාමිවරු, කුලීකරුවෝ සහ ආධුනික පුහුණුකරුවෝ ආදි සියල්ලෝ ම එක ම සමාජ සංවිධානයක් තුළ සිටියහ. මෙහි දී දුප්පතුන් මේ සංවිධානයේ සිටියත් ප්‍රභූවරුන්ගේ කටයුත්ත වන්නේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම බව හෙගල්ගේ මතය විය. දුප්පත්කම 19 වන සියවසේ මුල් භාගය තුළ ජර්මනියේ සමාජ ප්‍රශ්නයක් විය. නමුත් මේ අය වනාහි සමාජ වෙනසක් සඳහා සිටින විප්ලවීය ඒජන්තයන් වශයෙන් හෙගල් සැලකුවේ නැත.

නමුත් 1830-40 දශක වන විට තත්ත්වය වෙනස් විය. ධනේශ්වර පන්තියෙන් ස්වාධීනව මේ කාලයේ ප්‍රථම වතාවට කම්කරුවෝ නැගී සිටියහ. 1830 ගණන් මුල දී ප්‍රංශයේ දී කම්කරුවෝ වීදි අල්ලා ගත්හ. එහෙත් ඔවුන්ගේ හඬ වඩාත් ඉදිරියට නො ගියේ ය. අවසානයේ දී සිදු වූයේ බුෂුවා ආණ්ඩු මේ හිඩැස පිරවීම ය. අනාගතයේ දී ප්‍රගතිශීලි සමාජ කණ්ඩායම් බිහි වේ ය යන්න හෙගල් තම ජීවිත කාලය තුළ අත් දුටුවේ නැත.

සමාජ ව්‍යාපාර තේරුම් ගැනීමේ දී හා ගොඩනැගීමේ දී වඩාත් අදාළ වන්නේ හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියට වඩා තර්කවිද්‍යාව කෘතිය ය. හෙගල්ගේ තාර්කික සංකල්ප භෞතික ක්‍රියාකාරකම් තුළ නැංගුරම් ලා තිබෙන බව මෙයින් කියවෙයි. සමාජයේ ක්‍රියාකාරී පාර්ශ්වය (the subject) උත්සාහ කරන්නේ සමාජ ව්‍යාපාර හරහා සිය විමුක්තිය උදාකර ගැනීමට ය; තම සමාජ ජීවිතය පරිවර්තනය කර ගැනීමට ය. වස්තුව (the object) වනාහි පවත්නා තත්ත්වය ය (the exsisting state of affairs). මෙය සමාජයක දෙන ලද තත්ත්වය ලෙසට හඳුනාගත හැකි ය. මෙය වෙනත් ක්‍රියාකාරීත්වයක් මඟින් බිහි කරන ලද තත්ත්වයකි. ආත්මයන් ක්‍රියාකාරී වන්නේ මේ වස්තුව හෝ දෙන ලද තත්ත්වය මත පදනම් ව ය. අනෙකාත් වෙනස් කර තමන් වත් වෙනස් කර ගැනීම මේ ආත්මයන්ගේ අභිමතය ය.

මෙයින් පෙනී යන්නේ හෙගල් සිය දර්ශනය ඉදිරිපත් කරන්නේ හුදු මනෝ මූල දාර්ශනික අවශ්‍යතාවක් සඳහා ම නො ව සමාජ දේශපාලන අවශ්‍යතාවන් සඳහා බව ය. හෙගල්ගේ අදහස හා සංකල්පයන්හි භෞතික වටිනාකමක් ඇත. මාක්ස් සිය ගෲන්ඩි්‍රස් කෘතියේ දී සහ ප්‍රාග්ධනය කෘතියේ දී හෙගල්ගේ තර්කවිද්‍යාවේ ඇති විධික්‍රමවාදී වටිනාකම අගයා ඇත. එමෙන් ම මාක්ස්ගෙන් පසු ලෙනින් හෙගල්ගේ තර්කවිද්‍යාවේ ඇති දේශපාලන වටිනාකම සිය දාර්ශනික සටහන් පොතෙහි සඳහන් කර ඇත. හෙගල් පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව මෙන් ම තර්කවිද්‍යාව කෘතීන් ලියන්නේ තමන් වටා ඇති සමාජ, දේශපාලන, ආර්ථික ලෝකය ගැන හොඳ සවිඥානයකින් යුක්තව ය.
​​

හෙගල්ගෙන් පසු විමුක්තිය 3

හෙගල්ගේ දර්ශනය විමුක්තිය සහ නිදහස පිළිබඳ දර්ශනයකි. මධ්‍යකාලීන යුගයේ කතෝලික පල්ලිය සිය දේවධර්මයේ පදනම් දාර්ශනිකයා ලෙසට ඇරිස්ටෝටල් යොදා ගත්තේ ය. රාජ්‍ය සමාජවාදය තුළ කාල් මාක්ස් දේවත්වයට ගෙන තිබිණි. නීට්ෂේ දැක්වූ උත්තර මිනිසාව හිට්ලර් අගය කළේ ය. හෙගල් මේ ආකාරයට කුමන හෝ රාජ්‍ය පද්ධතියකට ඔසවා තැබිය හැකි ද? 20 වන ශතවර්ෂයේ දී සමාජවාදයේ බලාපොරොත්තු බිඳ වැටීමෙන් පසුව තවදුරටත් හෙගල් වලංගු ය යන මතය තහවුරු කළ හැකි ද?

රූපික චින්තනයට විසංවාදයන්ගේ (contradictions) ආවශ්‍යක බව තහවුරු කළ නොහැකි ය. මක්නිසා ද රූපික චින්තනය අවිසංවාදී නියමය (Law of Non-Contradiction) මත පදනම් වී තිබෙන නිසා ය. මේ කාරණය හෙගල්ගේ තර්කවිද්‍යාව තුළ පෙන්වා දී ඇත. ඕනෑ ම අනන්‍යතාවක් ගොඩනැගීම තුළ ම එම අනන්‍යතාව නිෂේධනය කිරීමේ බීජයන් අන්තර්ගත බව හෙගල්ගේ මතය වේ. රූපික චින්තනය තුළ විසංවාදය යන්න අවරෝධිත ව පවතී. එමෙන් ම නිෂේධනය යන්න අනන්‍යතාවට පරිබාහිර ව පවත්නා එකක් ලෙසට සැලකෙයි. හෙගල්ගේ දර්ශනය තුළ සිදු වන්නේ මේ අවරෝධිත දෙයට නැවත ගමන් කිරීමකි (return of the repressed). මේ දැක්මට අනුව සෑම දෙයක් ම විසංවාදී ලෙස පවතින අතර ඕනෑ ම චලනයක් අනන්‍යතාවේ සිට වෙනස දක්වා ගමන් කිරීමකි. හෙගල්ට අනුව විසංවාදය යන්න ක්‍රියාත්මක වන්නේ චින්තනයේ ම පවතින ආවේණික ලක්‍ෂණයක් ලෙසට ය. අනෙකුත් චින්තනයන් විසංවාදයන්ගෙන් තොර සංගත පද්ධතීන් ගොඩනැගීමට උත්සාහ ගත්තත් හෙගල් එසේ නො කළේ ය. ආත්මයට, විසංවාදය ප්‍රතිජානනමය ලෙස උදව් වන්නේ කෙසේ ද යන්න හෙගල් පෙන්වා දුන්නේ ය.

විසංවාදය හෝ ප්‍රතිවිරෝධය ආත්මීයත්වය තුළ පමණක් නො ව සත්තාව තුළත් ආවේණික වශයෙන් ක්‍රියාත්මක බව හෙගල්ගේ මතය වේ. විසංවාදය හෝ ප්‍රතිවිරෝධය හරහා හෙගල් දාර්ශනික විප්ලවයක් ඉදිරිපත් කරන අතර මේ විප්ලවය, චින්තනය, නිදහස, විමුක්තිය සඳහා සද්භවවාදී පදනමක් ඉදිරිපත් කරනු ලබයි.

කිසි ම අනන්‍යතාවක් පරිපූර්ණ හා ඝනීභූත වශයෙන් ගොඩනැගීම හා පවත්වාගෙන යාම විසංවාදයක් ජනනය කරන බව මෙහි දී කිය වේ. විසංවාදයන් යන්න හුදෙක් විරෝධතාවන් (oppositions) නො වේ. විසංවාදය අවබෝධ වන්නේ යම් ස්ථාවරයක් එහි ම වූ නීතියක් අනුගමනය කරන විට ඒ නීතිය එම ස්ථාවරය තේරුම් ගැනීමට අපොහොසත් බව තේරුම් ගැනීමෙනි. සෑම ස්ථාවරයක් ම තේරුම් ගැනීමේ දී එම ස්ථාවරයේ ම ඇති නිෂේධනමය බලයක් තේරුම් ගැනීම මෙහි දී අපේක්‍ෂා කෙරෙයි. මෙය ස්ථාවරය තුළ අස්ථාවර බව තේරුම් ගැනීමකි. මේ අස්ථාවරයන් උද්ගත වන්නේ පිටත බලපෑමකින් නො ව අභ්‍යන්තරයේ ම බලපෑමක් මඟිනි. අභ්‍යන්තරික බෙදීමක් ක්‍රියාත්මක වන බව මෙයින් කිය වේ.

සෑම ස්ථාවරයක් ම අභ්‍යන්තරික වශයෙන් ඛාදනයට ලක් වේ. ඕනෑ ම ප්‍රවාදයක් එහි ම වූ විසංවාදයක් ජනනය කරන බව හෙගල් පෙන්වා දුන්නත් හෙගල්ගේ ප්‍රතිවාදීන් කර තිබෙන්නේ මෙම අභ්‍යන්තරික බෙදීම වාදය හා ප්‍රතිවාදය අතර පරිබාහිර විරෝධයක් ලෙසට ඉදිරිපත් කිරීම ය.

දෘෂ්ටිවාදයන් මඟින් කරන්නේ විසංවාදයන් හුදු විරෝධතා හෝ පසමිතුරුතා බවට පරිවර්තනය කිරීම ය. මේ පරිවර්තනයන් මඟින් අපගේ ම අභ්‍යන්තරික අපොහොසත්කම් අවබෝධ කර ගන්නවා වෙනුවට අපගේ අභ්‍යන්තරික විසංවාදයන්ට හේතු වන බාහිර සතුරෙකු නිර්මාණය කෙරෙයි. දයලෙක්තික විසංවාදයන් මඟින් හෙළිදරව් කරන්නේ ස්වයං අනන්‍යතාවන් (self identity) ගොඩනගා ගැනීමට නොහැකි බව ය. හුදු විරෝධයන් හෝ පසමිතුරුතාවන් මඟින් යෝජනා කරන්නේ යම් ආත්මයකට ස්ථාවර ස්වයං අනන්‍යතාවක් තිබෙන බව ය. මෙහි දී හෙගල් විසින් මතු කරන, ස්ථාවර ස්වයං අනන්‍යතාවකට ඉඩක් නැත යන සද්භවවාදී ප්‍රවේශය යට ගැසෙයි. විරෝධතා යන්න පහසුවෙන් කළමනාකරණය කළ හැකි පසමිතුරුතාවන් ය. මෙවන් පසමිතුරුතා දිගට ම නඩත්තු කිරීමට හැකි ය. පසමිතුරුතාව ආත්මයට සහනයක් ද ලබා දෙයි. ආත්මයට අඩු තර්ජනයක් ඇති කරයි. නමුත් අභ්‍යන්තරික විසංවාදයන් ආත්මයට තර්ජනයකි. තමන් තුළත් තමන්ගෙන් පරිබාහිර ලෝකය තුළත් පරිපූර්ණ පරිවර්තනයක් නොකර මේ ප්‍රතිවිරෝධතා වෙනත් ප්‍රතිවිරෝධතාවන් බවට පරිවර්තනය කළ නොහැකි ය. හුදු විරෝධයන් තුළ දී සිදු වන්නේ වාදය-ප්‍රතිවාදය, පස-මිතුරුතා ලෙස, සතුරු-මිතුරු ලෙස ලෝකය දෙකට බෙදීම ය. හෙගලියානු දයලෙක්තික දර්ශනය සතුරු-මිතුරු වශයෙන් ඉහළට ගන්නා විරෝධතාවලට විරුද්ධ ය. පසමිතුරුතා අව්‍යාජ ප්‍රති-විරෝධයන් නො වේ. පසමිතුරුතාවක සතුරා අනන්‍යතාවක් ඇති පුද්ගලයෙකි. ප්‍රතිවිරෝධතාවක සතුරා සිටින්නේ තමන් තුළ ම ය. සතුරා පරිබාහිර ලෙස ගත්තොත් තමන් තුළ ම පවත්නා ‘සංගත’ ආත්මයට ඉඩක් සාදයි. මෙවැනි සංගත, ඒකීය, ආත්මයක් දැවැන්ත දෘෂ්ටිවාදයක් බව හෙගල්ගේ චින්තනයෙන් හෙළිදරව් වේ.

ලෝක ධනවාදයට මූලධර්මවාදී ත්‍රස්තවාදියා මුණ ගැසෙන්නේ තමන් විසින් මුලිනුපුටා දැමිය යුතු සතුරකු ලෙසට ය. මෙවන් පසමිතුරුතාවක් තුළ තමන් හා අන්‍ය ආත්මයක් (සතුරා) ලෙස සාරභූත අනන්‍යතාවක් නඩත්තු කෙරෙයි. මේ පසමිතුරුතාව ලෝක ධනවාදී පද්ධතියට තමන්ගේ ම අභ්‍යන්තරික විසංවාදය, යටපත් කර ගැනීමට ඇති තාවකාලික උපක්‍රමයකි. මෙහි දී ‘ත්‍රස්තවාදියා’ ධනවාදයට, ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදයට පිටතින් ප්‍රාදුර්භූත වූ අන්‍ය ආත්මයක් බවට පත් වේ. ලංකාවේ දී ‘කොටි ත්‍රස්තය’ අපට අභිමුඛ වන්නේ පිටතින් පාත් වුණු සතුරෙකු ලෙසට සහ අපගේ ආත්මයට සම්බන්ධයක් නොමැති අමුතු ආත්මයක් ලෙසට ය. දයලෙක්තික නො වන චින්තනය අප ද මැදිහත් වී නිර්මාණය කරන සතුරා සම්බන්ධයෙන් මාගේ වගකීමෙන් ගැලවීම සඳහා මාර්ගයන් නිර්මාණය කර දෙයි. හෙගලියානු චින්තනයෙන් ප්‍රතික්ෂේප වන්නේ ගෝලීය ධනවාදී ‘ප්‍රවාදය’ සහ මූලධර්මවාදී ‘ප්‍රතිවාදය’ වශයෙන් ගොඩනගන අනන්‍යතාවාදී ප්‍රවේශයන් ය; මේ ප්‍රතිවාදය, වාදය මඟින් පරාජය කර සහවාදී සුසංවාදයකට යා හැකි ය යන දෘෂ්ටිවාදය ය. හෙගලියානු දයලෙක්තික චින්තනය මඟින් පැහැදිලි කරන්නේ ‘ත්‍රස්තවාදී’ සතුරා ධනවාදී පද්ධතියේ ම නොහැකියාව, අපොහොසත්කම, අභ්‍යන්තර ප්‍රතිවිරෝධය බව ය. ඊනියා වාදය තුළත් ප්‍රතිවාදය තුළත් සහවාදය තුළත් ආවේණික සාරය වන්නේ අභ්‍යන්තරික විසංවාදය ය. හෙගලියානු දාර්ශනික මෙහෙයුම ඔස්සේ ගියොත් අපට සිංහල දේශප්‍රේමියා තුළත් කොටි ත්‍රස්තයා තුළත් මුස්ලිම් මූලධර්මවාදියා තුළත් ඇති අභ්‍යන්තර විසංවාදය මුණ ගැසේ. දයලෙක්තික නො වන චින්තනය ඔස්සේ ගියොත් සිංහල දේශප්‍රේමී ස්ථාවර ආත්මයට එරෙහි ව සිටින කොටි ත්‍රස්තවාදියා හෝ මුස්ලිම් මූලධර්මවාදී ආත්මය මුණ ගැසේ. දයලෙක්තික නො වන චින්තනයෙන් මෙන් ම ධනේශ්වර දෘෂ්ටිවාදය මඟින් කරන්නේ විසංවාදයන් හුදු විරෝධතා හෝ පසමිතුරුතා බවට විස්ථාපනය කිරීම ය. ගෝලීය ධනේශ්වර පද්ධතිය මඟින් කෙරෙන්නේ එක්කෝ මූලධර්මවාදී ත්‍රස්තවාදියා තම පද්ධතියට උරා ගැනීම ය (inclusion) නැත් නම් ත්‍රස්තවාදියා මුලිනුපුටා දමීම ය (exclusion). උරා ගත නොහැකි අනෙකා විනාශ කිරීම මේ යට ඇති ක්‍රියාදාමය වේ. ‘ත්‍රස්තවාදී’ ආත්මය ක්‍රියාත්මක වන්නේ ධනේශ්වර පද්ධතියට පහර දී තම සංස්කෘතික හෝ ආගමික අනන්‍යතාව රැක ගැනීමට ය. එමෙන් ම මූලධර්මවාදියා ක්‍රියාත්මක වන්නේ ධනේශ්වරය තුළ ඉඩක් නැති අතීතයේ පැවතුණු ඇගයුම් නැවත ස්ථාපනය කිරීමට ය. ධනේශ්වරය මේ ආගමික ඇගයුම්වලට පහර දෙමින් කරන්නේ මූලධර්මවාදීන් තුළ අතීත ඇගයුම් පිළිබඳ ආශ්වාදයක් ජනනය කිරීම ය. ප්‍රතිවිරෝධතා, හුදු විරෝධයන් හෝ පසමිතුරුතා හරහා තේරුම් ගන්නට උත්සාහ කරන්නාට හෙගල්ගේ විප්ලවීය බව හෝ ඔහුගේ විමුක්තිකාමී ගුණය අවබෝධ වන්නේ නැත.

හෙගල් මෙහි දී මතු කරන චලනය විසංවාදය හරහා බිහි වන එකක් වන අතර එය සමනය වීමක් (resolution/Auflösung) හෝ ඇතමුන් සිතන පරිදි වාදය ප්‍රතිවාදය හරහා සහවාදයකට එළඹීමක් නො වේ. ව්‍යාජ දයලෙක්තිකයන් තුළ තිබෙන්නේ විසංවාදය සමඟ සහජීවනයකට යාමකි (the reconciliation with contradiction). හෙගලියානු දයලෙක්තිකයේ පාඩම වන්නේ විසංවාදයන් යනු පිටු දැකිය හැකි හෝ පිටු දැකිය යුතු බලවේගයක් නො වන බව ය. සත්තාවේ හදවතේ ම තිබෙන්නේ විසංවාදයකි.

හෙගල් තර්කවිද්‍යාව කෘතිය අවසන් කරන්නේ පරම අදහසෙනි (Absolute Idea). පරම අදහසෙහි තේරුම වන්නේ විසංවාදය යන්න අභිබවා යා නොහැකි ය යන්න ය. විසංවාදය යන්න අප ගැලවිය යුතු උගුලක් නො ව සංකල්පයේ ආවශ්‍යක තත්ත්වයකි. මේ අනුව හෙගල් කියන්නේ විසංවාදය පරම වන බව ය. මෙයින් හෙගල් අපට උගන්වන පාඩම වන්නේ විසංවාදය හරහා වැඩ කරමු යන්න ය. විසංවාදයන් අන්තර්ගත කර ගන්නා මාර්ගයක් සොයා ගනිමු යන්න ය. විසංවාදයන් අවසන් වූ ලෝකයක චලනය ද අවසන් ය. සෑම විසංවාදයක් ම අපට සිත්නනට යමක් ඉතිරි කරයි. මේ විසංවාදයන් හට ගන්නේ කොහොම ද යන්න සොයා බැලීමට අප යොමු කෙරෙයි. සෑම සාර්ථක විසඳුමකින් පසු තවත් විසංවාද ගණනාවක් උත්පාදනය කෙරෙයි.

විසංවාදයන් මඟින් කියවෙන්නේ කිසිම දෙයක් සමඟ පූර්ණ අනන්‍යතාවකට යා නොහැකි බව ය. මේ අනුව ඇරිස්ටෝටලියානු අනන්‍යතා නියමය (A=A) හෙගල්ට අනුව වලංගු නො වේ. වෙනස (difference) යන්න අනන්‍යතාවෙන් පිටත පවතින්නේ නැත. බොහෝ දෙනෙකුගේ පොදු අවබෝධය වන්නේ පරම සහවාදය මඟින් අවසානයේ දී සියලු විසංවාදයන් සමනය වී යන බව ය. නමුත් සැබෑ හෙගල්ට අනුව විසංවාදයන්ගෙන් තොර අවසානයක් හමු වීමට ඉඩක් නැත.

මේ විසංවාදයේ ක්‍රියාකාරීත්වය හෙගල්ගේ තර්කවිද්‍යාව කෘතිය හරහා තවදුරටත් තේරුම් ගැනීමට උත්සාහ කරමු. මෙහි දී සත්තාව (Being), සාරය (Essence), සංකල්පය (Concept) නම් දයලෙක්තික සබඳතාව තේරුම් ගනිමු. සත්තාවේ පවතින විසංවාදයන් සාරය තුළ විසඳී යන බව හෙගල් කියයි. යම් අන්තර්ගතයක් පිළිබඳ ව එහි සත්තාව ආශ්‍රයෙන් සිතන විට විසංවාදයන් පැන නැගෙන අතර මේ විසංවාදයන් නිසා ම එම අන්තර්ගතය සම්බන්ධයෙන් සාරය ඔස්සේ සිතීමට අප මෙහෙය වෙයි. සත්තාවට වඩා සාරය ස්ථාවර ය. සාරය යන්න තේරුම් ගත යුත්තේ සමරූපය (semblance/Schein) යන්නට සම්බන්ධ කරමිනි. සමරූපය යනු යම් සාරයක් පරිබාහිර ලෙස ප්‍රකාශයට පත් වන ආකාරය ය. සත්තාව නිර්ණයමය ආකාරයට නිෂේධනයට ලක් වීමෙන් (determinate negation of being) සාරය උදා වේ. නමුත් මේ නිෂේධනය සඳහා අව්‍යවහිත සත්තාවක් (immediate being) හෝ සමරූපයක් අවශ්‍ය ය. සමරූපය යන්න සාරයට එරෙහි ව පවත්නා පරිබාහිරත්වයක් නො වේ. මේ සමරූපය නොමැති ව යමෙකුට සාරය සොයා ගැනීමට නොහැකි ය. මේසයෙහි සාරය උපග්‍රහණය කිරීමට (posit) මේසය පරිබාහිර වශයෙන්, සමරූපී ආකාරයට අපට පෙනෙන ආකාරයක් සහ මේසයෙහි සාරය වශයෙන් බෙදීමක් ඇති කළ යුතු ය. සාරයේ තර්කණයට අනුව සමරූපයට එහි ම වූ වටිනාකමක් නැත. සමරූපය යනු සාරය ප්‍රකාශයට පත් වන ආකාරය ය. සාරයට තමන්ගේ ම ස්වරූපයෙන් පෙනී සිටිය නොහැකි ය. යමෙකුට සාරය ගැන හිතීමට අවශ්‍ය නම් එය සමරූපය සමඟ සැසඳීමට සිදු වේ. සාරය තුළ පවත්නා විසංවාදය මෙය ය. මේ විසංවාදය ජය ගැනීම සඳහා චින්තනය පරාවර්තනය (reflection) දක්වා යොමු වේ. පරාවර්තනය මඟින් සාරය තුළ ම පවත්නා සමරූපය ගැන පරාවර්තනමය අවබෝධයක් ලබා දෙයි.

පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව තුළ තිබෙන්නේත් ඉහත සඳහන් ආකාර ව්‍යූහයකි. හෙගල් පටන් ගන්නේ විඥානයෙනි (consciousness). ඒ තුළ විසංවාදයක් පවත්නා අතර මේ විසංවාදය සමනය කර ගැනීමට ස්වයං-විඥානය (self-consciousness) නම් අවධිය දක්වා ගමන් කරන අතර ඒ අවධිය තුළත් විසංවාදයක් ඇත. එම විසංවාදය සමනය කර ගැනීමට විචාරය (Reason) වෙතත් එහි ඇති විසංවාදය සමනය කර ගැනීමට පරමාත්මය (Spirit) වෙතත් චලනය වේ. මුලින් පැවති සරල විසංවාදයන් වෙනුවට ඉහළ අවධිවල දී මුණ ගැසෙන්නේ වඩාත් සංකීර්ණ විසංවාදයන් ය.

හෙගල් තම විග්‍රහය තුළ පාවිච්චි කරන තවත් සංකල්පයක් වන්නේ වේදනාව (pain) යන්න ය. මේ සංකල්පය ඔහු යොදන්නේ විසංවාදය හා ප්‍රතිවිරෝධය යන්න හා සමානව ය. විශේෂයෙන් ම වේදනාව යන්නට වරප්‍රසාදිත තැනක් තර්කවිද්‍යාව කෘතියෙන් හිමි වී ඇත. සත්තාවක පැල්ම (rupture) වේදනාව මඟින් සංකේතවත් කෙරෙයි. විසංවාදය ජීවමය සත්තාවකට දැනෙන්නේ වේදනාවක් ලෙසට ය. වේදනාව මිනිස් ආත්මයකින් ඉවත් කළ නොහැකි තත්ත්වයකි. වේදනාව හෝ විඳවීම (suffering) යන්න සම්පූර්ණ වශයෙන් ඉවත් කළොත් ජීවිතයද අහෝසි වී යයි. මේ අනුව ජීවිතය යනු වේදනාව ම වේ. හෙගල් තමන්ගේ Jena Real Philosophie කෘතියේ මෙසේ ලිවී ය: ‘the sickness of the animal is the birth of spirit’ ආත්මීයතාව පැන නැගෙන්නේ මේ වේදනාව හරහා ය. හෙගල් දකින ආකාරයට තාර්කික විසංවාදයන් සද්භවවාදී විසංවාදයන් දක්වා ගමන් කරයි. විසංවාදය අභ්‍යන්තරික ව පැමිණෙනවා විනා බාහිර ව පැමිණෙන එකක් නො වේ.

ෆැසිස්ට්වාදය යනු විසංවාදයන් පසමිතුරුතාවන් බවට පරිවර්තනය කිරීමේ විධියකි. ජර්මානුවා ඇතුළත ම පැවති විසංවාදයන් ජර්මානුවා හා යුදෙව්වා අතර පසමිතුරුතාවක් බවට පත් කෙරිණි. ධනේශ්වර පද්ධතියේ ම ඇති අභ්‍යන්තරික විසංවාදය ජර්මානුවා හා යුදෙව්වා අතර පසමිතුරුතාවක් බවට පත් කෙරිණි.
ප්‍රංශ විප්ලවය මෙන් ම හයිටි විප්ලවය මගින් ලෝකය පරිවර්තනය කළ අතර සාම්ප්‍රදායික ආධිපත්‍යය අවසන් බවට ඉන් ඉඟියක් ලබා දුන්නේ ය. කෙසේ නමුත් ප්‍රංශ විප්ලවය අවසන් කෙරුණේ නව ආකාරයේ ධූරාවලියක් බිහි කරමිනි. මේ අනුව ප්‍රංශ විප්ලවය මඟින් තවත් විසංවාදයක් බිහි කළේ ය. නමුත් මේ විසංවාදයන් සමානාත්මතාව, සහයෝගීතාව වැනි අපේක්‍ෂාවන්වලට මිනිසා යොමු කළේ ය. මෙයින් පෙනී යන්නේ අපට බිහි කර ගත හැක්කේ විසංවාදීමය විමුක්තියක් (contradictory emancipation) බව ය.

හෙගල් ක්‍රිස්තියානිය සම්බන්ධයෙන් වර්ධනය කළ අදහස බොහෝ දෙනෙකු අතින් ගිලිහී ගොස් ඇත. වාමාංශික හෙගලියානුවන් දයලෙක්තිකය, ආත්මීයත්වයේ ඓතිහාසික වර්ධනය වැනි හෙගලියානු සංකල්ප සලකා බැලූ අතර දක්‍ෂිණාංශික හෙගලියානුවෝ හෙගල් විසින් ක්‍රිස්තියානිය හා රාජ්‍යය සම්බන්ධයෙන් වර්ධනය කළ අදහස් පිළිගැනීමට ලක් කළහ. හෙගලියානු පද්ධතිය තුළ ක්‍රිස්තියානියට ඉහළ තැනක් හිමි වේ. හෙගල්ට අනුව ක්‍රිස්තියානිය යනු බෙදුනු දිව්‍යත්වයක් ප්‍රකාශයට පත් කළ පළමු ආගම ය. වෙනත් ලෙසකින් කීවොත් මිනිසා පමණක් නො ව දෙවියන් ද විඳවමින් සිටින බව ප්‍රකාශයට පත් කළ පළමු ආගම ක්‍රිස්තියානිය ය. මේ නිසා ම ක්‍රිස්තියානිය තුළ විමුක්තිකාමී විභවයක් වර්ධනය විය. හෙගල්ගේ සාමාන්‍ය දර්ශනය වන්නේ සත්තාව විසංවාදයන් මඟින් පැල්මට ලක් වී තිබෙන බව ය. විසංවාදයන් පියමං කිරීමට අතීතයට යන ඕනෑම දර්ශනවාදයක් හෝ විසංවාදයන් මුලිනුපුටා දැමීමට උත්සාහ කරන ඕනෑ ම ව්‍යාපෘතියක් අසාර්ථකත්වයෙන් කෙළවර වේ. නාසිවාදීන්, යුදෙව්වන් සමූල ඝාතනය කර සමාජ සුසංවාදයක් ලබා ගැනීමට උත්සාහ ගත් අතර එය අසාර්ථක ව්‍යාපෘතියක් විය. ස්ටැලින්වාදීන් තම රට තුළින් ම ‘සමාජවාදයට එරෙහි’ සතුරන් සොයා ගත් අතර ඔවුන් සමූලඝාතනය කර සුසංවාදයක් ලබා ගැනීමට උත්සාහ ගත් අතර එය ද අසාර්ථක ව්‍යාපෘතියක් විය. විසංවාදයන් ආත්මයේ හදවතේ ම නවාතැන් ගෙන ඇත. ආත්මය මඟින් ප්‍රකාශයට පත් වන්නේ සංතෘෂ්ටිදායක ස්වභාවයක් නො වේ.

හෙගල් මිනිස් විමුක්තිය හා සම්බන්ධ කාරණයේ දී හඳුන්වා දෙන වැදගත් සංඝටකයක් වන්නේ චින්තනය (thinking) යන්න ය. මනුෂ්‍ය චින්තනයට විසංවාදයක් ගැන සිතිය හැකි ය. හෙගල්ට අනුව තර්ක බුද්ධිය (Reason) චින්තනයේ ඉහළ ම ප්‍රකාරය වේ. එයට ප්‍රතිවිරෝධතාවන්, විසංවාදයන් ග්‍රහණය කර ගැනීමට පුළුවන.

හෙගල්ගේ ප්‍රවේශයෙන් කියවෙන්නේ ඥානවිභාගාත්මක ප්‍රතිවිරෝධතා සහ විසංවාද සද්භවවාදී ප්‍රතිවිරෝධතා හා විසංවාද බවට පත් කළ යුතු බව ය. ඥානවිභාගාත්මක ප්‍රතිවිරෝධතා බාහිර ව දැන ගත හැකි ප්‍රතිවිරෝධතාවන් ය. සද්භවවාදී ප්‍රතිවිරෝධතා යනු අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතාවන් ය. මේ අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතා දැන ගැනීමෙන් ආත්මයකට ස්වයං-පරිවර්තනයකට යොමු වීමේ ධාරිතාවක් ඇත. එයින් අභ්‍යන්තර නිෂේධන ක්‍රියාවලිය ග්‍රහණය කර ගත හැකි ය. ආත්මයකට තමන් තුළ ම ඇති පැල්ම ගැන දැනුවත් විය හැකි ය. අභ්‍යන්තරික වශයෙන් මේ පැල්ම, අඩුව ගැන දැනුවත් වීම ආත්මයේ නිදහසට පූර්ව කොන්දේසිය වේ. ආත්මයට ස්වයං-නිර්ණයක් පවතිනවා යැයි කියන්නේ මේ අර්ථයෙනි. හෙගල්ගෙන් පසු උදා වන විමුක්තිය මේ ඉහත සඳහන් කළ ආකාරයට හඳුන්වා දිය හැකි ය.

සටහන්

1. මේ උපමාතෘකාව Andy Blundenගේ Hegel for Social Movments (2019) කෘතිය හරහා ලබා ගත් එකකි.

2. හෙගල් සහ හයිටි කැරැල්ල අතර සම්බන්ධය සඳහා කියවන්න Susan Buck-Morss ගේ Hegel Haiti and Universal History (2009), හයිටි විප්ලවය සඳහා කියවන්න C.LR. James, The Black Jacobins (1938).

3. මේ උපමාතෘකාව Todd McGownගේ Emancipation After Hegel: Achieving a Contradicting Revolution (2019) පොතෙන් ලබා ගත් එකකි.

ඔබගේ අදහස් අපට එවන්න.