මුල් රාජධානි සමය

ඊජිප්තු සංස්කෘතිය ලිපි මාලාවේ දෙවන කොටසින් අපි ස්කෝපියන් රජුගෙන් පසු අභිෂේක ලැබූ අනුප්‍රාප්තිකයෙකු ලෙස නාමෙර් රජු (King Narmer) හඳුනා ගතිමු. ඔහු නයිල් නිම්නයේ ඉහළ ඩෙල්ටාවෙහි පාලකයා වූ අතර පහත ඩෙල්ටාව ආශ්‍රිත මිටියාවතෙහි වූ රාජධානිය ආක්‍රමණය කොට ඊජිප්තු ඉතිහාසයෙහි ප්‍රථම වරට එක් සේසත් වූ මුල්ම ස්ථාවර රාජ්‍යය බිහි කළේ ය.

එමගින් රාජ්‍ය පාලනයෙහි පළමු වන පාරාවෝ රාජ්‍ය වංශය පිහිටු වූයේ ය. මෙම්පිස් නුවර (City of Memphis) අගනුවර කර ගත් මෙම ප්‍රථම ස්ථාවර රාජ්‍යය නයිල් නදියෙහි උතුරු දිග ඩෙල්ටාවෙහි තම අධිකාරය පිහිටුවා ගති. නාමෙර් රජුගෙන් ඇරඹි පළමු රාජ වංශය ක්‍රි.පූ. 3100–2890 දක්වා කාල පරාසයක් තුළ පැවති බව පුරා විද්‍යා ගවේශකයන්ගේ අදහස යි.

එයට පෙර පැවති දකුණේ ඉහළ ඊජිප්තුව, එහි අගනුවර හයිරාකොන්පොලිස් (Hierakonpolis) (නෙඛෙන්) (Nekhen) සහ උතුරින් පහළ ඊජිප්තුව, එහි අගනුවර ටෙල් එල්-ෆරායින් (Tell el-Fara'in) (බුටෝ) Buto ආදි ප්‍රදේශ තුළ පැවති ප්‍රාදේශීය පාලනයන් සහ සංස්කෘතිමය වශයෙන් වූ වෙනස්කම් ඔහු විසින් සමස්ත ඊජිප්තුව එක්සේසත් කිරීම මත නැති කර දැමිණ. නාමෙර් රජුගේ පාලන සමය තුළ මධ්‍යගත රජය, සංස්කෘතික ඒකාබද්ධ කිරීම සහ ස්මාරක ගොඩනැගිලි ව්‍යාපෘතිවල නව යුගයක ආරම්භය සනිටුහන් කළ අතර ලෝකයේ වඩාත් ම කල් පවත්නා ශිෂ්ටාචාරයක සංවර්ධනය සඳහා අඩිතාලම දැමිණ.

ඔහු විසින් අබිඩොස් සහ සකාරා යන ප්‍රදේශයන්හි තම රාජ්‍ය සොහොන් ගැබ් ඉදි කරමින් භූමියෙහි ජීවමාන දෙවිදුන් ලෙස ඒකීය සහ සමෘද්ධිමත් දේශයක් පාලනය කළේ ය.

නාමෙර් රජුගෙන් පසු අනුප්‍රාප්තිකයා ලෙස ආහා රජු (King Aha) පළමු රාජවංශයේ දෙවන රජු ලෙස පත් වූ බව විශ්වාස කෙරේ. ඔහුගේ පාලන සමය පිළිබදව පැහැදිලි දත්ත නොමැති මුත් මධ්‍යම රජයේ බලය තහවුරු කිරීම සහ හමුදා ආක්‍රමණ මගින් පුරාණ ඊජිප්තුවේ දේශ සීමා පුළුල් කිරීමට දායක වූ බව සිතිය හැකි ය. මන්ද යත් තෙවෙනි රාජ වංශයට ස්ථිරසාර පදනමක් ඔහුගෙන් පසුව ලැබී තිබුණු බැවිනි.

ආහා රජුගේ පාලන යුගයෙන් පසුව දෙවන රාජ වංශය ක්‍රි.පූ. 2890–2686 කාල පරාසය තුළ පැවති බව විශ්වාස කෙරේ. දෙවන රාජ වංශයේ පළමු රජු ලෙස හොටෙප්සෙක්හෙම්වි (King Hotepsekhemwy) පත් වූ අතර ඔහු විසින් ඔහුගේ පූර්වගාමීන් විසින් පිහිටුවන ලද දේශපාලන හා පරිපාලන ව්‍යුහයන් තව දුරටත් ශක්තිමත් කළ බව විශ්වාස කෙරේ. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ පෙරිබ්සන් රජුගේ (King Peribsen) පාලන යුගය දේශපාලනික අර්බුදයන් සහිත යුගයක් වූ බවත් එබැවින් ඔහු සෙක්හෙමීබ් (Sekhemib) නම් තවත් රජකු සමඟ සමස්ත ඊජිප්තුව ඒකාබද්ධව පාලනය කර ඇති බවත් පෙනේ.

දෙවන රාජ වංශයේ අවසාන රජු ලෙස කෂෙකෙන්මි රජු (King Khasekhemwy) සලකනු ලබයි. ඔහුට පෙර යුගවල පැවති අවුල් වියවුල් සමථයකට පත් කර ඊජිප්තුව නැවත එක්සේසත් කිරීමේ ගෞරවය ඔහුට හිමි වේ. කෂෙකෙන්මි රජුගේ පාලන සමය බලකොටු ඉදිකිරීම හා රාජකීය බලය තව දුරටත් තහවුරු කර ව්‍යාප්ත කිරීමට උර දුන් කාල පරිච්ඡේදයක් ලෙස තහවුරුව ඇත.

පැරණි රාජධානි සමය (Old Kingdom)

සමස්තයක් ලෙස ගත් විට මෙම මුල් රාජ වංශ සමයේ දී මධ්‍යගත රජයක් පිහිටු වීම, හයිරොග්ලිෆික් ලිවීමේ වර්ධනය සහ ආගමික විශ්වාසයන් සහ භාවිතයන් මතුවීම, ස්මාරක, ගෘහ නිර්මාණ ශිල්පය, ප්‍රභූවරුන් සඳහා මස්තාබා ව්‍යුහයන් සහ පිරමිඩවල මුල් මූලාකෘති වැනි සොහොන් තැනීම ආදි පසු කාලවල දී නවීන ශිෂ්ටාචාරය සඳහා අවශ්‍ය පදනම සැපයී ය. පළමු සහ දෙවන රාජ වංශ (ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3100 සිට ක්‍රි.පූ. 2630 පමණ දක්වා) ආවරණය වන පුරාණ ඊජිප්තුවේ මුල් රාජ වංශ යුගයේ දී පුරාණ ඊජිප්තුව එක්සත් රාජධානියක් දක්වා සංක්‍රමණය වූ අතර සැලකිය යුතු දේශපාලන හා සංස්කෘතික වර්ධනයන්ට ලක් විය.

ක්‍රි.පූ 2630 දී පමණ තෙවැනි රාජ වංශයෙන් ඇරඹිණි යැයි සැලකෙන පැරණි රාජධානි සමය සවන රාජ වංශයෙන් නිමියේ ය. පුරාණ ඊජිප්තුව පිළිබඳව සලකා බැලීමේ දී පිරමීඩ හා දේවස්ථාන ඉදිකිරීමේ ආරම්භක ප්‍රධානතම යුගය ලෙස, පැරණි රාජධානි සමය සැලකිය හැකි ය. ක්‍රි.පූ. 2630 සිට ක්‍රි.පූ. 2150 දක්වා කාල පරිච්ඡේදය ඊජිප්තු ඉතිහාසයෙහි ස්මාරක ඉදිකිරීම් ව්‍යාපෘති එහි උච්චතම ස්ථානයට ළගා වූ යුගය ලෙස සැලකිය හැකි ය.

මෙම යුගයේ දී ඊජිප්තු ඉතිහාසයේ වඩාත් ම කැපී පෙනෙන ව්‍යුහයන් ස්ථාපිත කරන ලද අතර, ඒවායින් බොහොමයක් තවමත් මානව දක්ෂතාව සහ ශිල්පීයත්වය පිළිබඳ විස්මය ජනක ස්මාරක ලෙස පවතී. එමෙන් ම මේ යුගය ඊජිප්තු ගෘහ නිර්මාණ ශිල්පයේ සහ ඉංජිනේරු විද්‍යාවේ ස්වර්ණමය යුගයක් නියෝජනය කළ අතර, ඊජිප්තු ඉතිහාසයේ අනාගත ස්මාරක ව්‍යාපෘති සඳහා වේදිකාව සකස් කළේ ය.

මස්ටාබා පිරමිඩ

පැරණි රාජධානි සමයේ දී වර්තමාන පූර්ණ පිරමීඩයන්ගේ ප්‍රාථමික තත්වයන් වූ මස්ටාබා පිරමීඩ (Mastaba Pyaramid) ආකෘතිය මත සොහොන් ගැබ් ඉදි කිරීම ආරම්භ විය. ශිලා ඵලකය යන අර්ථය ඇති මස්ටාබා යන අරාබි වචනයෙන් පිරමීඩ සඳහා වූ මේ නම බිඳී ආවේ යැයි සැලකෙයි. මස්ටාබාවක් (Mastaba) ප්‍රධාන අංග දෙකකට බෙදෙයි. ඉන් එක් අංශයක් භූමදානාගාරය සඳහා වෙන් විය. එය පොළව මට්ටමට පහළින් පිහිටා ඇත. අනෙක් අංශය දේව පුද පූජා සහ වන්දනාමාන කටයුතු උදෙසා වෙන් වූ ඉහළ කොටස වෙයි.

ආරම්භක අවස්ථාවන්හි දී මස්ටාබාවන් සඳහා යොදා ගත් ප්‍රධාන මාධ්‍යය වූයේ මැටි ගඩොල් ය. ඉන් අනතුරුව වඩාත් විශාල මස්ටාබාවන් ඉදිකිරීම සඳහා ඊජිප්තුවරු පාෂාණ භාවිත කළෝ ය. එමෙන් ම කල් යාමේ දී එහි අභ්‍යන්තරය වඩාත් විචිත්‍රවත් හා විශාල කෙරුණි. මිරෙරුකා (Mereruka) සහ සකාරාහි (Saqqara) මස්ටාබාවන් අන්තර්ගත කුටීර 30 ක් පමණ වෙයි. ඒවා ඇතුළත පේකඩ නෙලීම්, විවිධ මංගල අවස්ථා, දඩයම් උත්සව, කෘෂිකාර්මික කටයුතු ආදි අවස්ථාවන් විචිත්‍රව දක්වා තිබේ. පුද්ගලයාගේ මරණින් මතු ජීවිතය වෙත එළඹීමේ දී ඔහුගේ පැවති තත්වයන් ඒ ආකාරයෙන් ස්ථාවර කොට සුරක්ෂිත කිරීම මෙම සටහන්වල මුඛ්‍ය අරමුණ යැයි පැවසේ.

රාජකීය මස්ටාබාවන් සෘජුකෝණාස්‍ර හැඩයකින් යුක්ත වූ අතර එහි දිගු පාදය සාමාන්‍යයෙන් මීටර 40 ත් 60 ත් අතර ප්‍රමාණයක් ගනී. බොහෝ විට වංශවතුන්ගේ මස්ටාබාවන් රාජකීය මස්ටාබාවන් ආශ්‍රිතව සමාන්තරගතව පිහිටුවා ඇත. සෑම මස්ටාබාවක ම පාහේ මෘත ශරීරය තබනු ලබන ස්ථානය හා සම්බන්ධිත රහස් දොරටු දෙකක් ස්ථානගත කර තිබේ. ඉන් එකක් මිය ගිය තැනැත්තාගේ ආත්මය හා බාහිර ලෝකය අතර සන්නිවේදනය සඳහාත් අනෙක් දොරටුව මිය ගිය තැනැත්තා වෙත තම හිතවතුන් විසින් පිරිනමනු ලබන ද්‍රව්‍ය පරිභෝජනය සඳහා පිට වීමටත් ය.

පඩි පිරමිඩ

තෙවැනි රාජවංශ සමයේ දී (ක්‍රි.පූ 2650-2575) පැරණි මස්ටාබා නිර්මාණ සමතික්‍රමණය කොට නව පිරමීඩ නිර්මාණ යුගයක් උදාවීම විශේෂ වැදගත් කමක් උසුලයි. මස්ටාබා එකක් මත කුඩා මස්ටාබාවක් ද ඒ මත වඩාත් කුඩා මස්ටාබාවක් ද ආදි වශයෙන් තබමින් වඩාත් විචිත්‍ර වූ ද විශාල වූ ද සොහොන් ගැබ් සංකීරණ නිර්මාණය මෙම අවධියෙහි සිදු විය. මේවා පඩි පිරමීඩ (Step-Pyramid) ලෙස ඉතිහාසඥයෝ හඳුන්වති. මස්ටාබා පිරමීඩ පූර්ණ පිරමීඩ දක්වා විකාශනය වීමේ දී සංක්‍රාන්තිමය පිරමීඩ විශේෂයක් ලෙසින් පඩි පිරමීඩ අර්ථ ගැන්විය හැක.

තෙවන රාජ පරම්පරාවේ ඩිජෝසර් රජු (King Djoser/ Netjerikhet) (ක්‍රි.පූ 2668-2649) විසින් ඉම්හොටෙප් (Imhotep) නැමැති ගෘහ නිර්මාණ ශිල්පයේ සහ වෛද්‍ය විද්‍යාවෙහි නිපුණ වයිසර්වරයා (Vizer) (වයිසර්වරයා (Vizer) යනු පාරාවෝ රජු විසින් පත් කළ රාජ්‍යයෙහි ප්‍රධානතම නිලධරයා වේ. වර්තමාන අග්‍රාමාත්‍යධුරය සහ සමාන ය.) ලවා සැලසුම් කොට, තමාගේ මරණින් මතු ජීවනයෙහි සොහොන් ගැබ, මෙම්පිස් නගරයට (Memphis) ආසන්නයෙහි වූ සකාරා (Saqqara) නම් ස්ථානයෙහි පඩි පිරමිඩයක් (Step-Pyramid) ලෙසින් ඉදිකරවන ලදී. මෙය ඊජිප්තු සංස්කෘතියෙහි ප්‍රථම පාෂාණමය සොහොන් ගැබ ලෙසින් හැඳින්විය හැකි ය.

පඩි පිරමිඩ අධ්‍යයනය කිරීමේ දී වැදගත් නිදර්ශනයක් වන සකාරා හි ඩ්ජෝසර් සොහොන් ගැබ් සංකීර්ණය පිළිබඳ ආරම්භක පර්යේෂණයන් ප්‍රංශ ජාතික ජීන් පිලිප් ලායර් (Jean-Philippe Lauer) ක්‍රි.ව (1902-2001) විසින් සිදු කරන ලදි.

මෙහි මූලික අක්ෂය වන පඩි පිරමිඩය මස්ටාබා ස්තර නොහොත් තට්ටු සයකින් සහ මීටර 62 ක් පමණ උසින් යුක්ත ය. එය දිගින් මීටර 125 පමණ ද පළලින් මීටර 109ක් පමණ ද වේ. අභ්‍යන්තර ගමන් මාර්ග රැසකින් සමන්විත මෙතුළ භූමදානාගාරය මීටර 28 ක් පමණ ගැඹුරු වූ ස්ථානයක පිහිටා ඇත. සමස්ත සොහොන් ගැබ් සංකීර්ණය අක්කර 37 ක පමණ වපසරියකින් යුතු ය. හුණු ගලින් බඳින ලද මීටර 10.5 පමණ වූ ප්‍රාකාරයකින් ඩ්ජෝසර් පරිශ්‍ර ප්‍රදේශය සුරක්ෂිතව පැවතියේ ය. අභ්‍යන්තරය වෙත පිවිසෙනු පිණිස හෝරස් දෙවිදුන් මූර්තිමත් කළා වූ කුටීරයන්ගෙන් යුක්ත ද්වාරයන් 13 ක් මෙම පරිශ්‍රයේ ඉදි කර ඇත. නමුත් සත්‍ය වශයෙන් ගිණිකොණ දෙසින් පවතින ද්වාරයෙන් පමණක් අභ්‍යන්තරයට පිවිසිය හැකි අතර සෙසු ද්වාරයන් ව්‍යාජ ව නිර්මාණය කර තිබේ. නිවැරදි දොරටුව අභියසින් කවාකාර වූ සිවිලිමකින් යුතු කොරිඩෝවක් පවතින අතර එය දකුණු ආලින්දය වෙත යොමු වෙයි. සකාරා හි මෙම ඩ්ජෝසර් පරිශ්‍රය, මූලිකාංග සතක නිර්මිතයකින් යුත් සොහොන් ගැබ් සංකීර්ණයකි.

එනම්,

1. පඩි පිරමීඩය

2. හෙබ්-සෙඩ් (Heb Sed) ආලින්දය

3. උතුරු මෘත ශරීරාගාර දේවස්ථානය

4. දකුණු සොහොන් ගැබ

5. ටී (T) හැඩැති දේවස්ථානය

6. සෙර්ඩබ් (Serdab)

7. දකුණු ඝරය

8. උතුරු ඝරය, වශයෙනි.

ඩිජෝසර් රජු සෙර්ඩබ් උමං කවුළුව අබියස

මෙයිදුම් හි මස්ටාබා පිරමිඩය

සකාරා හි ඩිජෝසර් පඩි පිරමිඩය

සකාරා හි ඩිජෝසර් රජුගේ පිරමිඩ සංකීර්ණය

1. පඩි පිරමීඩය

සොහොන් ගැබ් පරිශ්‍ර මධ්‍යයෙහි චතුරස්‍රාකාර පාදමෙන් යුතුව ඉහළට ත්‍රිකෝණාකාරව ඉදිකර ඇත. මේ සඳහා පාෂාණ උපයෝගී කර ගෙන ඇති අතර එම පාෂාණ මතුපිට පෘෂ්ඨය, මටසිලිටු හුණුගල් ස්තරයන්ගෙන් ආවරණය කර තිබේ. මෙහි පිරමිඩ ස්තරයන් වෙන් වෙන් ව ඉදි කර ඇත. පාදමෙහි මධ්‍යය මීටර හතක පමණ චතුරස්‍රාකාර වූ ද මීටර 28 පමණ ගැඹුරු වූ ද අභ්‍යන්තර බෑවුමකි. එය අභ්‍යන්තර කොරිඩෝවන් සහ ශාලා වෙත පිවිසීමේ ආරම්භය වෙයි. එම අභ්‍යන්තරයෙහි වර්ග මීටර 5700 පමණ වූ ප්‍රදේශයක් පුරා පැතිරුණු කුටීරයන්, ශාලා, කාමර සහ උමං මාර්ග පවතියි. මධ්‍ය පතුළෙහි වූ අභ්‍යන්තර මාර්ගය අන්තයෙහි ග්‍රැනයිට් පාෂාණයෙන් නිම වූ පාරාවෝ රජුගේ මෘතශරීරාගාරය පිහිටා ඇත. එහි සිවිලිම මටසිලිටු හුණු ගලින් නිමවා ඇති අතර ඇලබැස්ටර් (alabaster) බදු පාෂාණයන් මගින් බිත්ති පෘෂ්ඨ නිම වූ බවට සාධක පවතී. මෙහි සිවිලිමෙහි තාරකාවන් පහක් නිරූපිත ය. අභ්‍යන්තර පතුළෙන් විහිදෙන මාර්ග තුනකින් සවිස්තරාත්මක රූපණයන්ගෙන් යුත් කුටීරයන් වෙත ද නැගෙනහිර දෙසින් ඇති මාර්ගයක් මගින් නිල් පැහැති පිඟන් ගඩොලින් නිර්මිත කුටීරයන් සයක් වෙතට ද පිවිසිය හැකි ය. රජුගේ මාලිගය මෙමගින් සංකේතවත් කරන්නට ඇතැයි සැලකේ. මෙහි එක් කුටීරයක ගර්භය තුළට පිවිසීමේ මාර්ගයන් දක්වා තිබේ. අභ්‍යන්තරික මෙම කුටීරයන් දෙකක මමිකෘත වූ කුඩා දරුවෙකුගේ සහ කාන්තාවකගේ සිරුරු ශෛලමය මෘතපෙට්ටි තුළ තැන්පත් කර ඇත. රජුගේ ආදිතමයන් හෝ සමීපතමයන් මෙසේ තම සොහොන් ගර්භයෙහි එක්තැන්ව තැබීමට ඩ්ජෝසර් රජු උත්සුක විය.

2. හෙබ්-සෙඩ් (Heb Sed) ආලිංගනය

දකුණු වාහල්කඩ සහ දකුණු ඝරය මධ්‍යයෙහි පිහිටා ඇත. ඩ්ජෝසර් රජු විසින් මෙම අංගනය ඉදිකිරීමෙහි අර්ථය අපැහැදිලි නමුදු හෙබ්-සෙඩ් ලබ්ධියෙහි අර්ථය නම්, වසර තිහක රාජ්‍ය පාලනයෙන් පසු රජු විසින් නැවත එළඹෙන තෙවසක් පාසා යළි කිරුළු පැලඳවීමේ උත්සවය වෙයි. මෙම චාරිත්‍රය සෙඩ් උළෙල ලෙසින් ද හඳුන්වයි. රාජ්‍ය එක්සේසත් බව හැඳින්වීමේ අරුතින් ඉහළ ඊජිප්තු ධවල කිරුළ සහ පහළ ඊජිප්තුවෙහි රක්ත වර්ණ කිරුළ පැලඳීම, පැරණි ඊජිප්තුපූජාමය ලබ්ධියක් විය. ඩ්ජෝසර්පරිශ්‍රයෙහි හෙබ්-සෙඩ් ආලිංගනයෙහි උප දෙවි මැඳුරු ත්‍රිත්වයකි. සෑම මැඳුරක ම පූජාමය ස්ථානයක් සහ කුඩා ආවෘතමය පරිශ්‍රයක් ඇත්තේ ය. වෘත්තාකාර වේදිකාවක් දකුණු පරිශ්‍රයෙහි ද ත්‍රිකෝණාකාර වේදිකාවකින් යුක්ත වූ පැතැලි වහලින් යුතු පූජාමය ස්ථානයක් බටහිර දෙසින් ද ඇත. සමස්ත දේව අංගනයන් තුළනෙලන ලද ශෛලමය ශාක පත්‍රයන් දැකිය හැකිය.

3. උතුරු මෘත ශරීරාගාර දේවස්ථානය

පිරමීඩය සමග උතුරු දෙසින් බද්ධව ඉදිකර ඇත. අභ්‍යන්තරය වෙත පිවිසීමේ මාර්ගයන් මෙමගින් වසන් වූ සෙයකි. සංකේතමය ප්‍රකාශයන් අඩුවෙන් නිරූපිත හෙයින් මෙම දේවස්ථානය පිළිබඳ වූ සාධකයන් ඉතා අල්ප ය. සමස්තයක් ලෙස ඩ්ජෝසර් පරිශ්‍රයෙහි දැකිය හැකි ලක්ෂණයක් වූ ආරුක්කුමය ද්වාරයන් මෙහි දී ද දැකිය හැකි ය. මෙම ද්වාර උදෙසා දැව භාවිත කළ බව පෙනේ. ඇතුළත ඇති දිගු කොරිඩෝව ආවෘත පරිශ්‍රයන් දෙකක් වෙත යොමු වෙයි. බටහිර පසින් වූ පිරමීඩයෙහි අනුආකෘතික පෙදෙස වෙත මින් එකක් විවෘත වේ. ගල් ටැම් දැකිය නොහැකි බැවින් බොහෝ විට දැව හෝ මැටි ගඩොලින් ඉදිකිරීම් සිදු වූයේ යැයි යන්න විද්වත් මතය වෙයි. ආභ්‍යන්තරිකව ඇති කුටිරයන්ගේ විශේෂත්වය වන්නේ බොහෝ විට යුගලමය වශයෙන් ඒවා ඉදිකරනු ලැබ තිබීම යි. මෙම භාවිතාව ඉහළ සහ පහළ ඊජිප්තුව සංකේතවත් කරන්නක් සේ සැලකෙයි. පසුකාලීනව මෙම දේවස්ථාන පරිශ්‍රය සූර්ය අක්ෂයන් වෙත යොමු කිරීම උදෙසා නැගෙනහිර දෙසින් සථාපිත කළ බව ඇතැමුන්ගේ මතය යි.

4. දකුණු සොහොන් ගැබ

දකුණු දිග වාහල්කඩ අභිමුඛයෙහි ඇති මෙහි බිත්තියෙහි නාග ප්‍රතිමා පෙළකි. උතුරු දෙසට පිවිසීම උදෙසා කුඩා ද්වාරයකි. මෙහි පසෙක ආහාර පිළිගන්වනු ලබන්නට ඇතැයි සැලකෙන කුටීරයන් පෙළකි. එමෙන් ම ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මිත නිල් පැහැති වර්ණයෙන් පරාවෝ මාලිගය නිරූපිත ය. මෙහි පේකඩයන්හි පාරාවෝ රජු විසින් හෙබ්-හෙඩ් පූජා කර්මයන් සිදු කරනු අයුරු දැක්වෙයි.

5. ටී (T) හැඩැති දේවස්ථානය

හෙබ්-සෙඩ් ආලිංගනයට යාබදව සහ දකුණු අංගනයට නැගෙනහිර දෙසින් ඇති දාරුමය කුලුනුවලින් හෙබි චතුරස්‍රාකාර ගොඩනැගිල්ලකි. මෙහි විස්තරාත්මක ප්‍රකාශනයන්ගෙන් යුත් අභ්‍යන්තර කුටීර පෙළකි. නැගෙනහිර දෙසට වන්නට ව්‍යාජ අඩවල් ද්වාරයකි. මෙම දෙවොල හෙබ්-සෙඩ් පූජාකර්මයන් උදෙසා භාවිත කරන්නට ඇතැයි සැල‍කේ.

6. සෙර්ඩබ් (Serdab)

උමං කුටිය (cellar) යන අර්ථය ඇති අරාබි වචනයකි. මියගිය පාරාවෝ රජුගේ ආත්මය (කා) උදෙසා පිරිනමන ද්‍රව්‍ය ලබා ගැනීම වස් ඉදිකරනු ලැබූ කුඩා කවුළුවකින් යුත් කුටීරයකි. හුණු ගලෙන් නිර්මාණය කර ඇති මෙම කුටීරයෙහි එක් පසෙක හෙබ්-සෙඩ් මංගල්‍යයෙහි දී ඩ්ජෝසර් රජු පැලැදි සුදුපැහැ සළුවකින් යුතු රජුගේ ජීවමාන ප්‍රමාණයෙන් යුතු ප්‍රතිමාවකි. රජු ගේ ඉදිරියෙහි වූ මේසය දෙස නෙත් යොමා ගත් ආකාරයෙන් මෙම ප්‍රතිමාව පිහිටුවා තිබෙන්නේ තම ආත්මයෙහි සංතෘප්ත බව සංකේතවත් කිරීම උදෙසා බව කියැවේ.

8. උතුරු සහ දක්ෂිණ ඝර

මෙම නිවාසමය ආකෘති ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව සංකේතවත් කිරීම උදෙසා ඉදි කරන ලදැයි සලකනු ලැබේ. උතුරු ඝරයෙහි පහළ ඊජිප්තුව සංකේතවත් කරනු ලබන පැපිරස් ආකෘතිමය ශීර්ෂයන් සහිත ස්තම්භයන් මෙන් ම දකුණු ඝරයෙහි ඉහළ ඊජිප්තුව නියෝජන කරන නෙළුම් මලැති ස්තම්භයන් දැකිය හැකි ය. දකුණු ඝරය නෙක්හ්බෙට් දෙවඟන (Goddess Nekhbet) උදෙසා ද උතුරු ඝරය යුටෝ නාග දෙවඟන (Goddess Uto) උදෙසාද ඉදිකරන ලද බව පිළිගැනේ.

මීළග ලිපියෙන් තව දුරටත් ඊජිප්තු පැරණි රාජධානි සමය පිළිබඳව කතා කරමු.

2022 අගෝස්තු 20

ඊජිප්තු සංස්කෘතියේ ආරම්භක සමය පිළිබඳව මෙම ලිපි මාලාවෙහි පළමු කොටසින් අපි සාකච්ඡා කෙළෙමු. පූර්ව ඊජිප්තු ඉතිහාසයෙහි අවසානය සහ ප්‍රථම පාරාවෝ රාජ වංශය ආරම්භය අතර පැවති රික්තය සපුරා ලීමට ඉතිහාසයේ නව සොයා ගැනීම් සමත් වී තිබේ. මෙම ලිපියෙන් ඊජිප්තු ඉතිහාසයෙහි පදනම වූ පූර්ව ඊජිප්තු ඉතිහාසයෙහි අවසානය ගැන අවධානය යොමු කරමු. එහි දී විශේෂයෙන් අවධානය යොමු වන්නේ ස්කෝපියන් රජු වෙත ය. ..

2022 මැයි 19

පුරාතන ඊජිප්තු සංස්කෘතිය, මානව ඉතිහාසයේ විශිෂ්ට ශිෂ්ටාචාරයක ඵලයක් වෙයි. විශ්වය ඥානනය කර ගැනීමේ අඛණ්ඩ උත්ත්සාහයක සලකුණු ඊජිප්තු ශිෂ්ටාචාරයෙහි වර්ධනය හා විකාශනය තුළ විද්‍යමාන වේ. සමස්තයක් ලෙස ගත් විට මනුෂ්‍යයාගේ මරණින් මතු ආත්මය පිළිබඳ සංකල්පය ඊජිප්තු සභ්‍යත්වයෙහි වර්ධනය කෙරෙහි ඉවහල් වූ මූලික ම සාධකය බව කිව හැකියි. අද සිට පළ වන මෙම ලිපි මාලාව රාජ වංශ තිහක පමණ පාරාවෝ රාජ්‍ය පාලන යුග වෙත ප්‍රවේශයකි.

ඔබගේ අදහස් අපට එවන්න.